සුජිත්ගේ ෆොටෝ එක දැක්කම ඒ අතීතය දිය ඇල්ලක් වගේ කඩා වැටුණා!

උසස් පෙළ කරන කාලෙත් විභාගය ලියල ගෙවුණ මුල් අවුරුදු කිහිපයෙත් මං පොඩි පොඩි රස්සා කිහිපයක් කළා. උළු මෝලක වැඩ කළා. ගමේ කුලී වැඩ කළා. ගම්වල ඇවිද ඇවිද පොත් වික්කා. පොලේ එලවළු වික්කා. මගුල් ගෙවල්වල තොරන් පෝරු ඇන්දා. කැටයම් කළා.

අනික් රැකියාව උනේ ව්‍යාපාරික නාම පුවරු මේ විදියට චිත්‍රණය කිරීම. වෙලේවැව දිල්හාර ට්‍රේලර්ස්, ආණමඩුව සිල්වා ස්ටුඩියෝ වගේ තැන්වල වහල මත දැවැන්ත පුවරු ඇන්ඳා. ඒව ටිකක් විශේෂ මතක.

ඒ කාලය හරි ලස්සන මතකයක් වගේම මහ විශාල අත්දැකීම ප්‍රමාණයක් ලබුවා. සමහර අත්දැකීම් හරිම කටුකයි. අද හරිම සුන්දරයි.

වෙලේවැව දිල්හාර ට්‍රේලර්ස් බෝඩ් එක වහලක් උඩ බිත්තියේ මං ඇඳපු පළමු ලොකු බිත්ති පුවරුව. සිමෙන්ති කපරාරුවෙ ඇන්දෙ. පාසලේ චිත්‍ර විෂය හැදෑරීමත්, අකුරු ඇඳීමට තිබුණ විශේෂ හැකියාවකුත්, මගේ චිත්‍ර ගුරුවරු වුණ කපිල එස් සේනාධීර සහ රංජිත් ජයරත්න සර්ල කරන වැඩ දිහා බලන් ඉඳල හිතේ තිබ්බ මතකය මිසක් වෙන ලබ්බක් මං දැනන් හිටියෙ නෑ. අනික් විශේෂම දේ කීයක් හොයාගන්න තිබ්බ වුවමනාව. මං තනියම කරන්න ගත්ත ලොකුම වැඩේ. අනික් ඒව පොඩි පොඩි තහඩු බෝඩ් ඇන්දෙ.

කලින් පසුබිම වර්ණ ගන්වල තිබ්බෙ සුදු පාටින්. හෙට උදේ කියන දවසෙ කඩේ විවෘත කරන්න ඕනි කියල තමා කිව්වෙ. මම පොරොන්දු වුණේ අකුරු ටික රෑ එළිවෙනකොට ඇඳල දෙන්නම් කියල. අඩි 12 x 2 විතර ප්‍රමාණයෙ පුවරුවක්.

හවස පහට විතර වහලෙට නැග්ග ඕනි බඩු ටිකත් අරගෙන. අවශ්‍ය එනමල් පාට ටින් ටිකයි, භූමිතෙල් බෝතලයකුයි (තිනර් වෙනුවට භූමිතෙල් දාගත්තෙ), පින්සල් ටිකයි, යෝගට් කෝප්ප හය හතකුයි, රෙදි කෑලි දෙක තුනකුයි. තියෙන කුඩා අත්දැකීම් ප්‍රමාණයට සහ අතේ තියෙන සල්ලි ප්‍රමාණයට තමයි ඒ බඩු ටික ගත්තෙ. ඒ තරම් ලොකු වෙලා යන වැඩක් භාර ගත්ත පළවෙනි වතාව. හිතේ හයිය මිසක් වෙන කවුරුවත් ළඟ නෑ. ටික ටික රෑ වෙනවා. ඉස්සර වෙලා බිත්තියෙ අකුරුවල මූලික සැලසුම් ටික ඇඳගත්තා. ඊට පස්සෙ යෝගට් කෝප්ප ටිකට අවශ්‍ය වර්ණ මාත්තු කිරීම් කරල ලාම්පුතෙල් දාල කලවම් කරල බිත්තිය කල්තියාම උඩින් පේළියට තියාගත්ත. (නොදන්නා කම තමා) කොහොම හරි අකුරු ටික ඔක්කොම පළවෙනි ස්තරය පාට ගාගත්ත රෑ දොළහ විතර වෙනකොට. බලු බල්ලෙක් නෑ ළඟ පාතක. මං ළඟ තියෙන විදුලි බල්බය විතරයි.

නවගත්තේගම පැත්තෙ ඉඳල ආණමඩුව පැත්තට පැයකට එක හමාරකට සැරයක් ලොරියක් මර හඬ දීගෙන වෙලේවැව කන්ද අද්දනව. බයත් හිතෙනව. අකුරු ටික ටිකක් වේලෙන්න ඕනි දෙවෙනි පාර ගාන්න. රෑ නිසා වේලෙන්නෙත් නෑ. වේලෙන්න තියන්න කාලෙකුත් නෑ. එළිවෙනකොට දෙන්න ඕනි ඉවර කරල.

ඔන්න පාන්දර එකට විතර මම පින්සලේ අමාරුවෙන් ඇද ඇද දෙවෙනි කෝඩ් එක ගාන්න පටන් ගන්නවා. පින්සල ඇලෙනවා. අනේ දෙවියනේ…! ටික වෙලාවකින් අර බිත්තිය උඩ දිගට කලවම් කරල පාට හදාගෙන තිබ්බ යෝගට් කෝප්පවලින් පාට බිත්තිය දිගේ පහළට ගලන්න ගත්තා. (එනමල් එකයි ලාම්පුතෙලුයි ප්‍රතික්‍රියා කරල යෝගට් කෝප්පය දියවෙලා) කාට කියන්නද? කොහොම නවත්තන්නද? මොනා කරන්නද? ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට හොඳටම ගලල.

කොහොම ද දෙවියනේ ඒ පහළට පාට වැක්කෙරුණ ඉරි මකන්නේ. ඒ පිටට පින්සල අදින්න බෑ ඇලෙනවා. ඈත කළුවර දිහා බලාගෙන මං හොඳටම ඇඬුවා තනියම පැය භාගයක් විතර වහලෙ උඩ ඉඳගෙනම. හෙට එළිවෙනකොට අයිතිකාරයො එනව කඩේ විවෘත කරන්න. එතකොට කොහොමද ඒ විදියට බෝඩ් එක තියන්නේ. ඒ වෙලාවෙ හිතට දැනුන දුක වේදනාව තනිකම මේ මොහොතෙ මේ සටහන ලියනකොටත් දරාගන්න බෑ වගේ.

ඒත් නිදහසට කාරණා වැඩක් නෑනෙ. එළිවෙනකොට මිනිස්සු එනකොට බෝඩ් එක පේන්න තියෙන්න ඕනි. මං අඬ අඬාම ඉතුරු යෝගට් කෝප්ප දෙක තුනකට ඒ මොහොතට ඇතිවෙන්න විතරක් පාට දිය කරගෙන පින්සල අමාරුවෙන් ඇද ඇද අර වැක්කෙරුණ පාට පාරවල් මකල අකුරුටික මතු කරගත්තා.

අදටත් කඩේ අයිතිකාරය මේ සන්තෑසිය දන්නෙ නෑ. මං කෝම හරි එළිවෙනකොට අකුරු මතු කළා. ඒ අකුරු අවුරුදු හත අටක්ම මැකුණෙත් නෑ පාට පිච්චිලා.

ඒක මහ පුදුම අත්දැකීමක්. එහෙමයි අපේ ජීවිතවලට අත්දැකීම් එකතු වුණේ. අපි හයිය උනේ. දරාගන්න ඉගෙන ගත්තේ. අදත් කාටවත් අපිව රිද්දන්න වට්ටන්න බැරි පන්නරය ලැබුණේ.

සුජිත් අයියගෙ මේ ෆොටෝ එක දකිද්දි ඒ අතීතය දිය ඇල්ලක් වගේ ඇස් දෙකෙන් කඩා වැටුණා. සුජි අයියට ෆොටෝ එකක් වත් තියෙනවා. අනේ මට ඒ කාලෙ ෆොටෝ එකක් ගන්නවත් විදියක් තිබ්බෙ නෑ. ඔක්කොම මතක තියෙන්නෙ හිතේ විතරයි.

ස්තූතියි සුජි අයියෙ ඔයාගෙ පිංතූරයක් මුහුණු පොතේ අලවල මටත් ඒ අතීතය ආපහු මතක් කරල ඇස් තෙත් කරගන්න ඉඩ හැදුවට.

සුගත් සෝමවීර සිය ‍මුහුණුපොතේ තැබූ සටහනකි. මෙයට පාදක වූ ඡායාරූපය සුජිත් රත්නායක සිය ‍මුහුණුපොතේ අලවා තිබුණි.

Author

Related Posts