(පෝද්දල ජයන්ත)
වර්ෂ 2009 ජුනි 01 දා සුදු වෑන් රථයකින් මා පැහැර ගෙන ගොස් අමානුෂික කෲර වධ හිංසාවන්ට ලක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ වරදට දේශබන්දු තෙන්නකෝන් චෝදනා ලැබ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම මගහැර සිටි චුදිතයෙකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඉවත් කරන මොහොත වනවිටත් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණ නියෝගයක් ගැනීමේ කටයුතු සියල්ල සුදානම් කර තිබුණි. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමේ විමසීමකට අනුව දේශබන්දුට තිබෙන පිළිබද පිළිතුරු ලිපියේ කරුණු 14 ට මේ සිද්ධිය ද ඇතුළත් කර තිබේ.
මිරිහාන පොලිස් වසම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස
එලෙස දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි අධ්‍යක්ෂක ශානි අබේසේකරගේ මෙහෙය වීමෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ පහත කරුණු පදනම් කර ගෙන ය.
01. 2009 ජුනි 01 දින මිරිහාන ඇඹුල්දෙණිය මහවත්ත පාරේදී මා පැහැර ගෙන ගොස් අමානුෂික වධ හිංසාවන්ට ලක් කිරීම පිළිබදව එවකට මිරිහාන පොලිස් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන කටයුතු සිදු නොකිරීම. අධිකරණයට කරුණු වාර්තා නොකිරීම.
02. පැහැර ගැනීමට හා වධ හිංසාවන්ට ලක්ව රෝහල් ගතව සිටි මාගෙන් මිරිහාන පොලිස් ස්ථානාධිපති කට උත්තර ලබා ගැනීමේදී , එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට සැක සහිත බවට හේතු කාරණා සහිතව කළ සදහන සටහන් නොකරන ලෙස මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ අසළ රැදී සිටිමින් තරයේ උපදෙස් දීම.
03. 2017 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මා පැහැර ගෙන යාම සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතුවලදී ප්‍රකාශයක් ලබා දීමට කළ දැනුම් දීම කිහිප වතාවක්ම මග හැරීම.
මගේ කට උත්තරය නිසි ලෙස සටහන් කර නොගත් බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම……..!
පැහැර ගැනීමට සහ අමානුෂික වධ හිංසාවන්ට ලක් කරනු ලැබුවේ 2009 ජුනි 01 දිනයි. සිද්ධිය සම්බන්ධයෙන් මාගෙන් කට උත්තර ලබා ගැනීමට මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ එවකට මිරිහාන ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට පැමිණියේ ජූනි මස 03 වැනි දින සවස් කාලයේ දී ය.
සාමාන්‍යයෙන් මෙවැනි කට උත්තර ලබා ගැනීමකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පැමිණෙන්නේ නැත. මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග දේශබන්දු තෙන්නකෝන් එහි පැමිණීමම බරපතල සැකයට කාරණාවකි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ගැන මා කළ සදහන සටහන් කර නොගැනීම ගැන මම මගේ තදබල අප්‍රසාදය ඔවුන්ට පළකළ අතර , කට උත්තර සටහන් කර ගැනීම එතනින් අවසන් කරන ලෙසද මම ඔවුන් ගෙන් ඉල්ලා සිටියෙමි.
මේ සිදුවීම සම්බන්ධයෙන් 2009 ජූනි මස 04 දින නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතාගේ සහ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතාගේ උවදෙස් පරිදි රෝහල් ගතව සිටිමින්ම මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිලි කළෙමි. එකී පැමිණිල්ලේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පසුව භාර දුනිමි.
පැහැර ගෙන ගොස් අමානුෂික වධ හිංසාවන්ට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දින 28 ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලැබීමට මට සිදුවූ අතර මාගේ වම් පාදය වළලු කරෙන් කඩා දැමීමේ නිසා ලෝහමය තහඩු ආශ්රයෙන් බද්ධ කරනු ලැබී ය. ඒ මුළු ජීවිත කාලය සදහාම ය. වසර 14 ක් ගෙවී ගියද , ඊට අදාළව වරින්වර හට ගන්නා ශාරීරික වධ වේදනා එමට ය.
දින 28 කින් රෝහලෙන් නික්මුණ ද තවත් මාස හයකට වැඩි කාලයක් මා ඇවිද ගියේ කිහිළිකරු ආධාරයෙනි. අදද මා අර්ධ ආබාධිතයකු ලෙස දිවි ගෙවමි. රාජපක්ෂ චෞරයන්ගේ සහාසික අපරාධවලට ගොදුරු වූයේ මා පමණක් නොවේ. වර්ෂ 2007 , 2008 සිට උන් රටේ ධනය මංකොල්ල කෑම් අරඹන විට අපි නිර්භයව ඒ අපරාධ එකින් එක රටට හෙළිදරව් කළෙමු. ඒ කිසිවක් අපේ වැට මායිම් රැක ගැනීමට කළ ඒවා නොවී ය.
එදා යුද්ධය තලු මරමින් ගිනි කණ වැටී සිටි රටේ වැඩිමනක් ජනතාව ඒ හෙළිදරව් කිරීම් තඹ දොයිතුවකට මායිම් කළේ නැත. එකල රාජ්‍ය මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙකු සමහර විට අපේ ඇතැම් ළගම ඥාතීන් පවා අප හැදින්වූයේ දේශ ද්‍රෝහීන් ලෙස ය. එහෙත් දශයක් ගෙවී යන විට රටට සිදුවී ඇත්තේ අප එදා ලියූ , කියූ දේ නොවේ ද ? දේශබන්දු තෙන්නකෝන්ලා එදා රාජපක්ෂලාගේ සහාසික අපරාධ යට ගැසීමේ තෑගී අද වනවිට ඔවුන් හිමිකර ගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ දේශබන්දුලාට තෑගි කරමින් සිටින්නේ රාජපක්ෂලා නියම කරන දොළ පිදේනි බව දන්නෝ දනිති.
රටේ උපරිමාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති පුරවැසියන්ගේ මූලික මානව හිමිකම් කඩකළ බවට නඩු තීන්දුවක් ලබාදී තිබිය දීත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිහඩියාවට එරෙහිව ප්‍රධාන විපක්ෂයේ සජිත් ප්‍රේමදාසවත් කටක් අරින්නේ නැත. ඒ දේශබන්දු සහ ටිරාන් අලස් සමග ඇති කුමක් හෝ ඩීල් එකක්වත් නිසාද ?
