රංජනී දයාසීලි හම්බන්තොට සූරියවැව මහ ආර පදිංචි දිරිය ගැහැණියක්. ඇය ගොවි කාන්තාවක් විදිහට කාෂ්ටක මහ පොළොවත් එක්ක හැප්පෙන ගමන් අති දැවැන්ත බහු ජාතික සමාගම් වලට අභියෝග කරනවා. නිකම්ම නිකං වචන වලින් නොවයි. ප්‍රායෝගික ව, සාක්ෂි සහිතව ඇය මෙම අභියෝගය කරමින් ඉන්නවා. ඇය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයවීම යටතේ පසුගිය දා ක්ෂේත්‍ර ගොවි පර්යේෂණයේ එක් අදියරක් සාර්ථකව අවසන් කළා. ඒ් රසායනික පොහාර භාවිතයට වඩා පාරිසරික යෙදවුම් භාවිත කරලා සාපේක්ෂව වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් කියලා පෙන්වලා.
ඇය මේ පර්යේෂණයට ගත්තේ AT 362 කියන වී වර්ගය. මේ වී රසායනික පොහොර, ගැඩවිල් දියර, සුපර් කොම්පොස්ට් සහ ජීවමෘත කියන යෙදවුම් එක්ක සමාන පාත්ති 8ක වගා කළා. ඒ වගාවන් වලට යොදන යෙදවුම් එකිනෙකට මිශ්‍ර නොවෙන විදිහට ඇය පරිස්සමින් මේ වගාව බලා ගත්තා. අස්වැන්න නෙළන කාලය එන විට මේ වී වෙන වෙනම පාත්ති වශයෙන් කපාගෙන අස්වැන්න වෙන වෙනම මැනලා බැලුවා. ඒ් අනුව බොල් සියල්ල ඉවත් කළාට පස්සේ අපිට පාත්ති දෙකේ සමස්ත ප්‍රථාපලයක් දකින්න පුළුවන් වුනා. මේ අස්වනු මංගල්‍යය කියලා කිව්වේ ඒ් අස්වනු නෙලීම සහ වී ප්‍රමාණය මැන බැලීම කරන අවස්ථාවට. ඒ් අනුව වී ප්‍රමාණය මැනලා බැලුවම ආවේ මෙහෙම
පාත්ති අංක 1
වර්මි කොම්පෝස්ට් 650g
ජීවමෘත 615g
සුපර් කොම්පෝස්ට් 590g
රසායනික පොහොර 540g
පාත්ති අංක 2
ජීවමෘත 895g
වර්මි කොම්පෝස්ට් 885g
සුපර් කොම්පෝස්ට් 880g
රසායනික පොහොර 655g
මේ අනුව පැහැදිලියි පාත්ති දෙකම සලකලා බැලුවම රසායනික පොහොර වලින් ලැබිලා තියෙන අස්වැන්න සාපේක්ෂව අඩුයි. ඒ්ත් ජීවමෘත සහ ගැඩවිලි පොහොර වගේ පාරිසරික යෙදවුම් වල අස්වැන්න සාපේක්ෂව වැඩියි. අතේ තියෙන මුදල් වැඩිපුර වියදම් කරලා, පරිසරයටත් හානි කරලා භාවිත කරන්න පුරුදු වෙලා ඉන්න රසායනික පොහොර කියන්නේ මහා ප්‍රොඩාවක් කියලා සූරියවැව මහආරේ රංජනී මහත්මිය ඔප්පු කරලා පෙන්නුවා. මේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) චන්දන රත්නායක, හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නාලිකා මහත්මිය ඇතුළු දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සහ ගොවිජන සේවා බලධාරීන් රැසක් සහභාගි වුනා.

