පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුවට දින නියම කරයි. ඒ අනුව නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 නිකුත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කලේය.විත්තියේ සාක්ෂි විභාගය අද (24) සවස 6.00ට අවසන් කල අතර ලිඛිත දේශන සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිතයි.
පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් 2309ක් සාක්ෂි ලබා දුන් අතර එහි අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීමද ඉකුත් 17 අවසන් විය. ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ නඩුව නිමා විය.
නඩුවේ විත්තිකරුවෝ 25ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගියේය. ඒ අනුව විත්තිකරුවෝ 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන්හ.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන සෙසු මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවයි.
පාස්කු ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඉහළ නංවා ඇත.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙනි. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇත.
