කිසිදු මැතිවරණයක් හෝ පළාත් සභා ඡන්දයක් නුදුරු දිනකදී නොපවත්වන බව මාලිමා මන්ත්‍රී කොට්ටහච්චි පවසයි
නුදුරු අනාගතයේදී ආණ්ඩුව විසින් කිසිදු මැතිවරණයක් නොපවත්වන බවත් ඒ අනුව පළාත් සභා මැතිවරණය ද මේ මොහොතේ නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කොට්ටහච්චි සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ වසම් 72ම ආවරණය වන පරිදි කාන්තා සභාව ඇතුළු සංවිධාන ජාලය යළි කැඳවමින් පැවති හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය.
එහිදී ඇය සඳහන් කළේ, මැතිවරණයක් ආසන්නයේ නොමැති පසුබිමක වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 5 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන නව දේශපාලන ප්‍රචාරණ සහ ප්‍රතිසංවිධාන වැඩසටහනක අරමුණු ජනතාව තේරුම් ගත යුතු බවයි.
මේ වන විට විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ කිසිසේත්ම ප්‍රබල මට්ටමක නොමැති බවත් සමස්ත විපක්ෂයම එකමුතු වුවද එය ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ප්‍රබල විපක්ෂයක් නොවන බවත් කොට්ටහච්චි වැඩිදුරටත් කියා සිටියේය.
