2016 සිට 2024 දක්වා වූ වසර 8ක කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගේ විදේශ සංචාර වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 27කට ආසන්න මහජන මුදලක් නාස්ති කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තු වාරයන් සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
විගණකාධිපති L.S.I. ජයරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම වාර්තාව මඟින් පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බරපතළ මූල්‍ය සහ පරිපාලන අක්‍රමිකතා රැසක් කරුණු සහිතව පෙන්වා දී ඇත.
අදාළ කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනෙකු ජාත්‍යන්තර සංගම් නියෝජනය කරමින් ගිය විදේශ සංචාර සඳහා රුපියල් 208,932,986ක මුදලක් වැය කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනෙකුගේ විදේශ සංචාර 83ක් වෙනුවෙන් රුපියල් 56,928,414ක් වැය කර ඇති බව එහි සඳහන්ව තිබේ.
මෙම සංචාර CPA, IPU සහ SAARC සංගම් හරහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා කාර්යාලය මගින් සංවිධානය කර ඇතත්, භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව එම විදේශ පුහුණුවලින් ලද දැනුම බෙදාහැරීමේ කිසිදු විධිමත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ සකස් කර නොමැති බව විගණනය පෙන්වා දෙයි.
මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගේ අසීමිත ඉන්ධන භාවිතය පිළිබඳව ද වාර්තාවේ බරපතළ කරුණු ඇතුළත් වන අතර එහිදී කථානායක ධුරය සඳහා කිසිදු ඉන්ධන සීමාවක් පනවා නොමැති බවත් ඔහු 2024 වසරේදී මසකට සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 6,122ක් භාවිත කර ඇති බව සඳහන්.
මෙය 2022ට සාපේක්ෂව 155%ක දැවැන්ත වර්ධනයක් වන අතර 2024දී පමණක් ඔහුගේ ඉන්ධන වෙනුවෙන් වැයවූ මුදල රුපියල් 26,045,103ක් බව වාර්තාවල සඳහන් වේ.
එමෙන්ම එහි සඳහන් වන්නේ, කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට හිමි සීමාවන් ඉක්මවා යමින්, නියෝජ්‍ය කථානායකවරයා 2023 සහ 2024 වසරවලදී සිය පෞද්ගලික රථයක් වෙනුවෙන් රුපියල් 8,545,037ක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන ඇති බවය.
තවද වසර 6ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ නොකළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට රුපියල් 10,800,000ක් වටිනා සහනදායී මෝටර් රථ බලපත්‍ර නිකුත් කර ඇති බව එම වාර්තා මගින් සඳහන්ව තිබේ.
රාජ්‍ය ආයතන සංග්‍රහය නොසලකා, වසර 70ක් පැරණි 1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත භාවිත කරමින් පාර්ලිමේන්තු සේවකයන්ට එකවර වැටුප් වර්ධක එකකට වඩා ලබාදී ඇති අතර, සෙසු රාජ්‍ය නිලධාරීන් ඉක්මවා මෙවැනි විශේෂ වරප්‍රසාද ලබාදීමට කිසිදු සාධාරණ හේතුවක් නිරීක්ෂණය වී නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වාදී ඇත.
පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැටුප 2004 න් පසු 800%කින් ඉහළ දමා ඇතත්, ඒකාබද්ධ අරමුදලින් දරන එම වැයබර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විධිමත් අනුමැතියක් ලබාගෙන නොමැත.
කෙසේවෙතත් රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය වෙනුවෙන් ගෙන ආ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුගත නොවී පාර්ලිමේන්තුව කටයුතු කිරීම දැඩි ලෙස විවේචනය කරන විගණකාධිපතිවරයා, යල්පැනගිය 1953 කාර්ය මණ්ඩල පනත වහාම සංශෝධනය කළ යුතු බවට ද නිර්දේශ කර ඇත.
