පිස්සු කෙළින්නෙපා විජේ! ජාතික ආරක්ෂාවට තර්ජනය ආනන්ද විජේපාලද?

තරිඳු උඩුවරගෙදර

මෙරට සාම්ප්‍රදායික පාලකයන්ට ‘ජාතික ආරක්ෂාව‘ කියන්නේ ප්‍රභූ ආරක්ෂාව සහ විවිධ ගොඩනැගිලිවල ආරක්ෂාවය.

ඉතින් අපි නිර්ප්‍රභූ ආණ්ඩුවක් ගෙනාවෙමු.

දැන් අවශ්‍ය වී තිබෙන්නේ මානව හිමිකම් පිළිබඳ වටිනාකම් සමඟ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ආරක්ෂාව ගැන මෙන්ම සාමකාමී සමාජ වටපිටාවක් ඇති කරන ජනතාවාදී මානයකින් ජාතික ආරක්ෂාව දෙස බලන රජයකි. අපරාධ මැඬලීම ගැඹුරු විෂයකි. නෛතික, ව්‍යවස්ථාමය, පොලිස්, සමාජ විද්‍යාත්මක, අධ්‍යාපනික, සංස්කෘතික සහ තවත් විෂයන් ගණනාවක් ගැටගැසුණු කලාපයකි.

එය හැසිරවිය යුත්තේ, ජනතාවාදී සුහදශීලීත්වයක්, ඉහළ විෂයානුබද්ධ දැනුමක් මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කරන මනා ජනතාවාදීත්වයක් සමඟය.

ඉස්සර ජාතික ආරක්ෂාව කියා බිත්තරේ වගේ රැක්කේ, හුදෙක් ගොඩනැගිලි, සංකේත සහ පුද්ගල ශරීරස්කන්ධ කිහිපයක් පමණි. ජනතාවගේ එදිනෙදා ආරක්ෂාව ඔවුන්ට ජාතික ආරක්ෂාව නොවේ. එහෙත්, මෙරට ප්‍රධානම අධිකරණ සංකීර්ණයේ විත්ති කූඩුවක සිටි විත්තිකරුවෙකුට වෙඩි තබා වෙඩික්කාරයෙකු පුත්තලම දක්වා පලා ගියාට පසු රටක ආරක්ෂාව පිළිබඳ හැගීමට තිබිය හැකි බලපෑම කුමක්ද?

එවැනි පසුබිමක විෂයභාර ඇමතිවරයෙකු විසින් කළ යුතු අදහස් දැක්වීමක කෙතරම් බරක් තිබිය යුතුද? කෙතරම් වගකීම් සහගත බවක් තිබිය යුතුද? එය ජනතාව නොතකන, තත්වයෙහි බරපතලකම නොතකන, හාමු පන්නයේ උද්දච්ච ප්‍රතිචාරයක් විය යුතුද?

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතා පෙබරවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.

අමාත්‍යවරයා කීවේ, සංවිධානාත්මක අපරාධ කල්ලි අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවන බවයි.

එය ඇමති කියන්නට දෙයක් නැත, අප කොහොමත් දන්නා කාරණයකි.

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ හුදකලා සිදුවීම් පමණක් බවත් පවසමින් අමාත්‍ය ආන්නද විජේපාල මහතා කියා සිටියේ, හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නොසැළකිය යුතු බවයි.

හුදෙකලා සිදුවීම්? පියෙකු දරුවන් සමඟ මෝටර් සයිකලයේ යද්දී වෙඩි තැබුවේ රාජපක්ෂ පවුල ගැන කතාන්දර ගොඩක් කීවාට පසුය. පසුවදා ඝාතනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේය. ජනතාව දැන් මුහුණදිය යුත්තේ වගකීම් සහගත ප්‍රකාශයකටද? නැත්නම් මෙවැනි හෑල්ලු කිරීම්වලටද?

රජය විසින් රට තුළ ජාතික ආරක්ෂාව සහතික කර ඇති බව ඔහු කියා තිබුණි.

ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කයිවාරු ගැහුවාට ආරක්ෂාව තහවුරු වෙන්නේ නැත.

ආනන්ද විජේපාල ඇමතිවරයාගේ ප්‍රකාශ මෙන්ම ඔහුගේ ඇතැම් ක්‍රියාවන් ගැන ඉතා සමීප නිරීක්ෂණවලින් අපට කියන්නට ඇත්තේ, ඔහුගේ භාවිතාව සියල්ලට වඩා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

මේ සිදුවීමෙන් පසු නියෝජ්‍ය ඇමතිගෙන් අප ඇසුවේ බූරුවා වැනි ප්‍රකාශයකි. ඇමතිගෙන් දුටුවේ ජනතාවගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නොතකා හරින විකාර සහගත ප්‍රකාශයකි.

දැන් සුද්ධ කරන්නන් එනු ඇත්තේ නැත නැත, ඇමතිවරයා මේ කියන්නේ ‘ජාතික ආරක්ෂාව‘ කියන නිර්වචනයට මෙම සිදුවීම ඇතුළත් නොවන බවය. ‘ජාතික ආරක්ෂාව‘ තහවුරු වී තිබෙනවාය වැනි තර්ක කියාගෙනය. ඒ තර්ක කිසිවක් නැත. කාගෙන්වත් නිර්වචන ඕනෑත් නැත. බිහිසුණු සිදුවීමක් සිදු වුණාට පස්සේ එකිනෙකාගේ වචනවල නිරවද්‍යතාව හදනවාට වඩා විය යුත්තේ, සිදුවීමේ බරපතලකම ගැන වගකීමකින් අදහසක් පළ කිරීමය.

අනෙක මේ ආණ්ඩුවත් ජාතික ආරක්ෂාව කියන්නේ පෙර කීවා වගේ කිසි තේරුමක් නොමැති, විකාර සහගත දේවල්වලටද?

මුලින් සිදුවීමේ බරපතලකම සැලකිල්ලට ගෙන, ඒ ගැන ජනතාවට සහතිකයක් ලබා දී, එයින් පසු තමන්ගේ ඕනෑ හිතලුවක් එක්ක ‘නිර්වචනය කරන‘ ආකාරය ගැන කතා කළාට කමක් නැත. පාර්ලිමේන්තුව තියෙන්නේ ජාතික ආරක්ෂාව කියන වචනයේ තේරුම ලිහා දෙන්න නොවේ.

මීට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ යට ගැසීම ගැන විපක්ෂ නායක විමසූ විටත් ආණ්ඩුවේ ප්‍රතිචාරය මතකද? සභානායකවරයා විපක්ෂ නායක ‘මැද්දෙන් පනින්න එපා කීවාට‘ අමුතු කුලප්පුකින් ප්‍රතිචාර දැක්වූ හැටි මතකද? ලසන්ත ඝාතන විමර්ශන යටගැසීම ගැන පාර්ලිමේන්තුවෙන් එළියට බහිද්දී අධිකරණ ඇමති ‘මාධ්‍යවලට කියන්න දෙයක් නෑ‘ කී හැටි මතකද?

රන්වල ආන්දෝලනයේදී දණහිසෙන් පහළට ගන්නැතැයි කීවා මතකද? පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් ගැන අසද්දී මං මොකටද ඔයාට කියන්නේ කියා මන්ත්‍රිනිය කී හැටි මතකද?

ඕකට කියන්නේ උද්දච්චකම කියාය.

අපොයි! ජනතාව ඉල්ලුවේ ජනතාවගේ පාලනයකි. හාමුලා නොවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ඇමතිලා හිනාවෙනු අපි දුටුවෙමු. 2022 බංකොලොත්බාවයට පෙර කිසිදු අර්බුදයක් නැතිය, අර්බුදය කුමක්ද කියා කයිවාරු ගසන්නන් දුටුවෙමු. සැබෑ ප්‍රශ්නවලට අසංවේදී වීම ඇමති විජේපාල කළ බිහිසුනු වරදකි.

පසුගිය කාලයේදී ආනන්ද විජේපාලගෙන් අප දැක ඇති එකම වරද මේ බිහිසුණුකම පමණක් නොවේ.

රටේ බිහිසුණු අපරාධ සොයන්නට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්තුව යොදා තමන් අකමැති ප්‍රවෘත්ති ලියූ පත්තරවල කතුවරුන් ගෙන්වා බිය ගැන්වීමට විජේපාල ඇමතිවරයා පසුබට නොවීය. මෙරටට පැමිණි සරණාගතයන්ව ඝාතකයන් වෙත යැවීමට තරම් ගෝත්‍රික විය.

ආනන්ද විජේපාලට මහජන ආරක්ෂාව වැනි මාතෘකාවක තිබෙන දේශපාලනික, සමාජ විද්‍යාත්මක, ආර්ථිකමය සංකීර්ණත්වය ගැන කිසිදු අවබෝධයක් නැති බව පෙනේ. එවැනි විෂයක් ඉහළ වටිනාකම්වලින් හැසිරවීමට ඔහුට නොහැකි බව පෙනේ. ඒ නිසා, ආනන්ද විජේපාල ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක්යැයි හැඟේ.

Author

Related Posts