‘ආ පැටියෝ කොහොම ද?’ සමාජ මාධ්‍යවල පළවෙන හාස්‍ය නිර්මාණවලට පාවිච්චි කෙරෙන පාඨයක්. අප එතැන හාස්‍යයට ලක් කරන්නේ ආදරය කරන්නන්. ඇත්තට ම හැඟීම්බරව සහ දැඩි ආදරයකින් පාවිච්චි කරන වචනයක්. ඇතැමෙකුට එය හාස්‍යයක්.
අපේ තරුණ පරම්පරාව ආදරය කරන්නේ කොහොම ද? එක් පරම්පරාවකට ආදරෙන් වෙළීම මඟහැරිල ද? ආදරෙන් වෙළෙන්න අපි බය ද? මේ කතාන්දරය අපේ යුගයේ ආදරය ගැනයි.
‘ඇයි කළේ මුළු හදින්ම ඔබ මට ආදරේ- නැතිදෝ ඔබ මා ගැන දන්නේ’ වැනි ගීයක් නූතන ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වුණා. කොන්දේසි විරහිතව ප්‍රේමයෙන් වෙළීම ගැන විශ්වාසය හදන ගීතවලට වඩා, ඒ අයුරින් පෙම් කරන්නට ගොස් තමා රැවටුණු බව කියා හඬා වැළපෙන පෙම්වතුන්ගේ හඬ ගීතවල තේමාව බවට පත් වුණා. විරහව පවා සමරන්නේ චෝදනා මුඛයෙනුයි. ඒ හැරුණම අතිශය ජනප්‍රිය පෙම් ගීතවල අද ඇත්තේ මතුපිටින් රූප සම්බන්ධතා හෝ සරලව ප්‍රේමය අල්ලාගත් අර්ථයන්.
‘මංමුළාවී පාර අසාගෙන’ වැනි ගීයක ඇති අන්දමේ ක්ෂණිකව හමු වී ප්‍රේමයෙන් වෙළීමක් නූතන ගීත සාහිත්‍යය තුළ අඩුයි.
ඇත්තට ම අන් කවරදාටත් වඩා ප්‍රේම සම්බන්ධතා අද තියෙනවා. කෙල්ලන් කොල්ලන් පෙම්වතියන් සහ පෙම්වතුන් ලෙස ළං වෙනවා. අන් කවරදාටත් වඩා එකිනෙකාගේ ජීවිත එකිනෙකාට සමීප කරවනවා. එහෙත්, මඟහැරුණු යමක් තියෙනවා.
අරුන්දතී රෝයි සිය කෘතියක මෙසේ ලියා තිබුණා.
‘ආදරය කිරීමට, ආදරය ලැබීමට, ඔබේම අල්ප බව කිසිඳා අමතක නොකිරීමට, ඔබේ ජීවිතය වටා ඇති වචනවලින් විස්තර කළ නොහැකි ප්‍රචණ්ඩත්වයට සහ අසභ්‍ය විෂමතාවයට කිසි විටෙකත් පුරුදු නොවන්න. දුකම තැන්වල සතුට හොයන්න. සුන්දරත්වය එහි පතුලට ම හඹා යන්න. කිසිවිටෙකත් සංකීර්ණ දේ සරල නොකරන්න. සරල දේ සංකීර්ණ නොකරන්න. ශක්තියට ගරු කරන්න, නමුත් කවදාවත් බලයට ගරු නොකරන්න. සියල්ලට ම වඩා, දේවල් නිරීක්ෂණය කරන්න. උත්සාහ කර තේරුම් ගන්න. කවදාවත් අහක නොබලන්න. ඒ වගේම කවදාවත් අමතක නොකරන්න.’ බැලූබැල්මට විශේෂ තේරුමක් නැති වචන පෙළක් වුණාට ඇය ආදරයේ බරැති හැඟීමෙන් බර වූ ලස්සන ජීවිතයක් කෙටියෙන් අල්ලා ගැනීමට උක්ත පාඨයෙන් සමත් වෙලා.
අප මෙහි කතා කරන්නේ ආදරයෙන් වෙළීම කියන අදහස. ඒත්, මේ කියන සිදුවීම සිංහල භාෂාවේ ආදරයෙන් වෙළීම යන්නට වඩා ඉංග්‍රීසියෙහි එන ‘ෆෝලින් ඉන් ලව්’ හෙවත් ආදරයෙන් වැටීම යන වචනයටයි වඩාත් ගැළපෙන්නේ.
අඬන්න හිතෙනවා
මෙලනි ගුණතිලක කියන්නේ පසුගිය කාලය පුරා සමාජ අවධානය දිනාගත් ඉතා තරුණ ක්‍රියාකාරිනියක්. සමාජ ප්‍රශ්න දෙස මෙන්ම සමාජය දෙස තියුණු ඇසකින් දකින්නියක්. ඇය ලියුම්කරු හා ඇත්තේ ඉතා සමීප මිත්‍රත්වයක් නිසා ම ආදර ප්‍රශ්න ගැනත් අදහස් බෙදාහදා ගැනීම් ගණනාවක් තිබෙනවා. අපේ පරම්පරාව ආදරයෙන් වෙළෙන්නට බිය බව ඇයට වඩාත් ඛේදජනක හෝ බිය ගෙනදෙන හැඟීමක් ලෙසයි දැනෙන්නේ. ඇත්තට ම ඒ ගැන කතා කරනවාට වඩා ඒ ගැන හඬා වැටෙන්නට අපේ බොහෝ තරුණ තරුණියන්ට පුළුවන් බව ඇය සිහි කරනවා. ඇය දෙදාහට පෙර දියණියක්. අප වැනි අයගේ යොවුන් විය සමාජ මාධ්‍ය හා ස්මාර්ට් ෆෝන් යුගයට පෙර එයින් පසු අප ජීවිතය අතරමැදදි අධිවේගයෙන් සමාජ මාධ්‍ය යුගයට හුරුවුණා.
මෙලනි ගුණතිලක වැඩිදුරටත් මෙහෙම කීවා.
‘අපේ පරම්පරාව හැදුණ විධියත් එක්ක පොඩි කාලේ පත්තර කියවලා හෝ පොත් කියවලා හෝ හැදී වැඩුණා. යොවුන් වියෙන් එළියට එද්දී තමයි සමාජ මාධ්‍යවලට කෙළවරක් නැති ප්‍රවේශයක් ලැබෙන්න පටන් ගත්තේ.
අපට යොවුන් වියේදී ආදරය හා සමාජ සම්බන්ධතා ගැන වෙනත් අත්දැකීමක් තිබුණා යම් දුරකට. කවුරුහරි දිහා බලලා ආදරෙන් වෙළීම. යාළුවන් අත පණිවිඩයක් එවීම වගේ. ඒ කාලයේ මිනිස් සම්බන්ධතා තෝරාගැනීම පරිගණක පද්ධතිවලට භාර දීලා තිබණේ නෑ.
දැන්, සම්බන්ධතාවලදී අප නොගැළපෙන තැන් හෝ වැරදි හදාගෙන ආදරය පවත්වාගෙන යනවාට වඩා ඕනෑ නෑ කියලා අත්හැරීම වැඩියි. අප එකිනෙකාට සීමා දමාගන්නවා. ආදරය කරන කෙනා වුණත් අහවල් සීමාව පනින්න එපා කියලා. ඒ සීමා දමාගැනීමේ හොඳ තිබෙනවා. නරකත් තිබෙනවා. අපි අපේ ම අඩුපාඩු වහගන්න සීමා පාවිච්චි කරනවා. සමහරවිට අනෙකාගේ අඩුපාඩු ඉවසනවා. අපේ අඩුපාඩු අසීරුවෙන් පාලනය කර ගන්න උත්සාහ කරනවා. සම්බන්ධතාවක් වෙනුවෙන් කැප කිරීම කියන එක අත්හැරලා තියෙනවා.
ඉස්සර තිබුණු බඩේ සමනල්ලු දුවනවා වගේ හැඟීම එක්ක ආදරයක් පසුපස හඹා යෑම අපි මඟ හරනවා. මොකද ඒ විධියට පටන් ගන්න සම්බන්ධතාවලදී සමහරවිට අපි වෙන්වීමේ වේදනාව විඳලා තියෙනවා වෙන්නත් පුළුවන්. එක්වරක් වෙන් වී වේදනාව දැනුණාට පස්සෙ ආයෙත් ඒ අත්දැකීම විඳින්න බයයි. අත පුච්චා ගන්න බයයි වගේ.
සමාජයක් විධියට මිනිස් සම්බන්ධතාවලට කොච්චර බරක් දෙනවාද කියන එක පොදුවේ අපි අත්දකිනවා. ඉතා ඉක්මනින් මිනිස්සුන්ව අත්හැර දමන්න පුළුවන් වීම දුකට කාරණයක්. මම මේවායේ හරි වැරැද්ද දන්නේ නෑ. ඒත් අපට මඟහැරුණු කොටසක් තියෙනවා.’
අප ආදරය ගැන කැපකිරීම අත්හැර දැමූ පසු ඉතිරි වන්නේ, කැපකිරීම් නැති ඉතා ලෙහෙසියෙන් අත්හැර දැමිය හැකි නමුත් අපට පෙම්වතියක් හෝ පෙම්වතෙක් සිටින බව කියන්නට පුළුවන් මට්ටමේ සම්බන්ධතාවක්. ඇතැම්විට ක්ෂණික රාගික බැඳීමක්, සිප ගැනීමක් හෝ මේ ලෝකයට තනිව මුහුණ දෙන්නට ඇති බය නිසා පමණක් හුදෙක් පවත්වාගෙන යන තවත් එක්ක සමාජ සම්බන්ධයක් බවට ආදරය කිරීම ඌනනය වෙලා. ඒ කියන්නේ, වැඩිහිටි ජීවිතේට ඇතුළත් වුණාට පසු රැකියාවක් සහ අනෙකුත් දේවල් තිබිය යුතු වගේම ආදරයත් තිබිය යුතු හින්දා, කුමන හෝ ස්මාර්ට්ෆෝන් යෙදවුමක් විසින් ගළපාදෙන ලද තවත් කෙනකු සමග අවම වගකීමකින් පවත්වාගෙන යන සම්බන්ධයක් බවට ආදරය පත්වෙලා.
ආදරෙන් වැටෙන නිමේෂය
අප ආදරෙයන් වෙළීම කියා විස්තර කරපු වචනයට මේ කොටසේ දී ආයෙමත් ඉංග්‍රීසි වචනය වූ ආදරයෙන් වැටීම කියන එක යොදා ගන්නම්. ආදරෙන් වැටීම ඉතා ඉහළ අත්දැකීමක්. ස්ලේවොයි ශිෂෙක් නම් වූ විද්වතා ආදරෙන් වැටීම ගැන මෙහෙම කියනවා.
‘එකපාරම පාරෙ දී කෙනෙක් ඇඟේ හැප්පෙනවා. ඔබ ඒ කෙනාට නැඟිටින්න උදව් කරනවා. තරුණ කොල්ලෙක් හෝ කෙල්ලෙක් හෝ වෙන කෙනෙක්. ඔබේ ජීවිතයේ එකම ප්‍රේමය මුණගැහෙනවා. ඔබේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. එයින් පස්සෙ කිසිදෙයක් කලින් තිබුණා වාගේ නැහැ. ඔබ ඔබේ එතෙක් ජීවිතයේ හැම මොහොතක්ම සලකන්නෙ මේ මොහොත දක්වා ගොඩනැඟීමක් විධියට. මං මුළු ජීවිත කාලෙම බලා හිටියේ ඔයා මුණගැහෙනකල් කියන දෘෂ්ටි මායාව.
මෙන්න මේ වගේ ආදර ඉවෙන්ට් එන්න එන්නම දුර්ලභ වෙනවා. බොහෝ බුද්ධිමත් සංස්කෘතික විචාරකයන් පෙන්වනවා කොහොමද අපි රොමෑන්ටික් යුගයට පෙර හෙවත් නූතන යුගයට පෙර කාලයට පිවිසෙමින් සිටින්නේ කියා. විවාහය හෝ ආදර සම්බන්ධතා බොහෝවිට පවුලේ නෑදෑයන්, හෝ සමහරවිට උගත් මාමා කෙනකු විසින් ගළපාදෙන කෙනෙක්ව විවාහ කර ගැනීම දක්වා යනවා කියන එක. වෙනසකට තියෙන්නේ අද මාමා කෙනෙක් වෙනුවට ඩේටින් ඒජන්සීස්, විවාහ ඒජන්සීස් සහ අනෙක් ක්‍රමවලින් තමයි මුණගැස්සීම කර දෙන්නේ.’
ශිෂෙක් පෙන්වා දෙන්නේ අර ආදරයෙන් වැටීමේ සිදුවීමත්, එයින් පස්සේ ඇති වන ගැඹුරු මායාකාරී හදවත් ගැටගැසීමත් නැතිව ම ආදරය භාණ්ඩයක් වගේ අද රාගික, රෝමාන්තික සම්බන්ධතාවක් අත්පත් කර ගතහැකි බව. ඒත්, ඒ භාණ්ඩය කවදාවත් සැබෑ ආදරය වාගේ නැහැ.
සැබෑ ආදරය අපව බිය ගන්වන දෙයක්. ඒ බිය, ඒ වේදනාව, ඒ කම්පනය එක්කම ගැටගැහිච්ච හිංසාකාරී දෙයක්. ඒත්, ඒ සියල්ල එක්ක පුදුමාකාර සුන්දරත්වයකින් අපට සමීප වෙන දෙයක්.
‘අපට අද හැමදේම ඕනෑ එහි නරක දේවල් අත්හැරලා. එහි තිබෙන වේදනාබර කොටස අත්හැරලා. අපට කැලරීස් නැතිව සීනි ඕනෑ. බියර් ඕනෑ, ඇල්කොහොල් නැතිව. මස් නැතිව මස් රසය ඕනෑ. ලිංගික, රාගික සම්බන්ධතාත් ඒ වගෙයි. අපට ඕනෑ ක්ෂණික, ආරක්ෂිත රාගික සම්බන්ධතා. ඒක ඕනෑ ආදරයෙන් වෙළීම නම් වූ මේ මරාන්තික ගැටගැසීම නැතිවම.’ ශිෂෙක් එහෙම කියනවා.
අවිශ්වාස ද?

නවකතා රචිකාවියක් මෙන්ම පරිවර්තන සාහිත්‍යයට විශාල සේවයක් කර ඇති කත්‍යානා අමරසිංහ ආදරයෙන් වෙළීම ගැන මෙසේ කීවා.
‘ක්ෂණිකව ආදරයෙන් වෙළෙනවා කියන එක මම විශ්වාස කරනවා. විශේෂයෙන් දුටුගමන් ආදරයෙන් බැඳෙනවා කියන එක විශ්වාස කරනවා. ඇත්තට ම යම් කෙනෙක් කාලයක් තිස්සේ ආශ්‍රය කිරීමෙන් පස්සෙ බැඳෙනවා වෙන්න පුළුවන්. ඒත්, මම විශ්වාස කරනවා ක්ෂණික ආදරයෙන් වෙළීම.
මම විශ්වාස කරනවා, ආදරය කියන්නේ සත්ව ලෝකයේ හැම තැනම ගැහැනු සහ පිරිමි සතුන් අතර ලිංගික ආකර්ෂණයක් ඇතිවෙනවා. මොළයේ දියුණුව ඇතුළේ ආදරය කියන්නේ සංකීර්ණ හැඟීම් සමුදායක්. ඒක විස්තර කරන්න බෑ. මේ තියෙන සංකල්ප නිර්වචනය වෙන්නේම අපි ඉන්න පුරුෂ මූලික සමාජ ක්‍රමය ඇතුළේ. මම ගැහැනියක් විධියට හිතනවානම් ගැහැනු අය ආකර්ෂණය වෙන්නේ මෙහෙම පිරිමි අයට කියලා, ඒක නිර්වචනයක් වෙනවා. ඒ වගේම පිරිමියාවත් නිර්වචනය වෙන්න පුළුවන්, පිරිමියා කැමැති මෙහෙම ගැහැනු අයටය කියලා. ඒත් නිර්වචනවලට අනුව නෙවෙයි ආදරයෙන් වෙළෙන්නේ. කවුරුත් හිතන්නෙ නෑ ඇත්තට ම ආදරයෙන් බැඳෙන්නේ කෙලෙස ද කියලා. ඒකට හැදුණ රාමුවක් නෑ.’
අනෝමා රාජකරුණා තරුණ පරම්පරාව සමග ම වැඩ කරන අත්දැකීම්වලින් පිරුණු සිනමාවේදිනියක්. ඇය තරුණ සිනමාකරුවන් සමග පමණක් නෙවෙයි, තමන්ගේ පුත්‍රයා සමගත් හරිම මිත්‍රශීලී සම්බන්ධතාවක් ගෙන යනවා. තරුණ පරපුර ආදරය කරන විධිය ගැන ඇයගේ නිරීක්ෂණයනම් එතරම් බරපතළ නැහැ.
‘මම දකින දේ තමයි, අපේ තරුණ කාලයේ අපි ජීවත් වූ සමාජයේ පවුල්වල පුරුද්දට පවා කීවේ ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය වෙන්න ඕනෑ වගේ එකක්. ඇත්තට ම ඒකට කලාවෙනුත් යම්කිසි විධියක බලපෑමක් තිබුණා. බලා ඉඳීම, විඳවීම වගේ දේවල් තමයි සෙලිබ්‍රේට් කළේ. ඒක උත්කර්ෂයට නැංවුවා. ඊට වඩා මේ පරම්පරාවේ තියෙන දේ තමය, විඳවීම කියන එක වෙනුවට විඳීම කියන එක ඇවිල්ලා තියෙනවා. අත්දැකීම ඇවිල්ලා තියෙනවා. තමන්ට ලැබෙන පළමු වන කෙනා තමන්ට ලැබෙන හොඳම කෙනා වෙන්න ඕනෑ නෑ. ඒ වගේම ෆෝල් ඉන් ලව් වගේම ෆෝල් අවුට් ඔෆ් ලව් වගේ එකකුත් තියෙනවා. ඉස්සර තිබුණු කොටුවීමට වඩා දියුණුවක් මා දකිනවා. බස් හෝල්ට් එකක ඉඳගෙන බස් එකක යන ගෑනු ළමයෙක්ව කවුළුවන් දැකලා කවුළුවෙන් ප්‍රේම කරලා, වෙන් වෙනවාට වඩා ගැළපෙනවාද නැද්ද කියලා දැනගෙන ඊටත් වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්. ප්‍රේමය ප්‍රජාතන්ත්‍රීය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.’
නවකතා ලේඛකයකු මෙන්ම අද්‍යතන විද්වතකු වන කෞෂල්‍ය කුමාරසිංහ කාලයක් තිස්සේ ආදරය ගැනම සොයා බැලූවෙක්. ඔහු සංස්කෘතික, මානව විද්‍යාත්මක පැතිවලින් මෙන්ම භාෂාවෙන් ද ආදරය ගැන නිරීක්ෂණ කිහිපයක් එකතු කළා.
‘ලංකාවේ ෆෝලින් ඉන් ලව් කියන වචනයට සිංහලෙන් සාහිත්‍යමය පරිවර්තනයක් නෑ. ආදරයෙන් වැටෙනවා කියන්න පළුවන්. ඒත්, අපේ භාෂාවේ තියෙන්නේ ආදරයෙන් වෙළෙනවා හෝ බැඳෙනවා වගේ වචන.
ආදරයෙන් වැටෙනවා කියන එකේ තියෙනවා අපට පාලනය කර ගන්නට බැහැ කියන හැඟීම. ක්ෂණිකව සිදුවෙන දෙයක් බවත් තියෙනවා. අපට වැටෙන එක පාලනය කර ගන්න බෑ. එය යම්කිසි විධියේ නව්‍යකරණයකට ඔබව ලක් කරනවා. ඔබව අලුත් කරනවා.
බැඳෙනවා හෝ වෙළෙනවා කියන ඒවා හෙමීට කාලයක් තිස්සේ සිදුවෙන දෙයක්. ඒ වගේම ඒක පාලනය කර ගන්නට බැරි දෙයක් වගේ දැනෙන්නෙත් නෑ. සමහරවිට සංසාරයේ බැඳීමකින් එනවා වගේ සංස්කෘතික වටිනාකම් අපට තියෙනවා. ඒ වගේම අපි මේ ආදරය යම් දුරකට ඥාති සම්බන්ධතාවලටත් සමීප කරනවා. සුදු අම්මි, සුදු තාත්ති හෝ අයියා, නංගී වගේ වචනවලින් අපි පෙම්වතුන් හඳුන්වනවා.
ආදරය කියන එක පදනම් වෙනවා, ප්‍රාථමිකව අදාළ සමාජයේ පවුල සංවිධානය වෙලා තියෙන විධියත් එක්ක. පවුල න්‍යෂ්ටික පවුල හැටියට තියෙනකොට ආදරය කියන එක පොදු සමාජ භාවිතයක් වෙන්නේ එක කාලයේ වගේ. ඒ දෙක එකිනෙකා පෝෂණය කළා.
හැබැයි දැන් වෙනසක් විධියට, නංගී වෙනුවට අක්කා ඇවිල්ලා තියෙනවා. ඒක ස්ත්‍රී නිදහස ගැන අදහසක් එක්ක මතු වූ දෙයක්. ස්ත්‍රිය බලවත් වීම ගැන අදහසක් තියෙනවා. ඒත්, පෙර කී ඥාතීත්ව කෑල්ල තියෙනවා.
මේ කාලයේ යනවා හිරිපොද වැස්ස කියලා ටෙලිනාට්‍යයක්. ආත්මි අක්කා තමයි පෙම්වතිය. අක්කාගේ මිතුරිය, ප්‍රේමවන්තයා එයාගේ අක්කා එක්ක තියෙන සම්බන්ධය ආත්මි එක්ක තියෙන සම්බන්ධයයි බලන්න පුළුවන්. පවුලෙන් එන සම්බන්ධතා ප්‍රේමයේ ප්‍රතිනිරූපණය වෙනවා.
ආදරය කරන එක සහ ළමා කාලය අතට සම්බන්ධය දෙසත් බලන්න ඕනෑ. අපි අපේ සහකරුට හෝ සහකාරියට බබා, පැටියා වගේ දේවල්වලින් හඳුන්වනවා. අපි බොළඳ වෙනවා. එකිනෙකාට ගැටගැසෙන්නේ ඒ ළමා, බොළඳ තැනින්.
ආදරය ලිංගිකත්වය ආදිය සියල්ල එකතු වුණා ම එක්තරා විධියට ඔයා ඔයාගේ ජීවිතය අලුත් චින්තනයක් දක්වා වෙනස් කරනවා. ආදරය කියන්නේ චින්තනයක්. ලෝකය ඔයා දකින විධිය ටිකක් වෙනස් වෙනවා. තව පුද්ගලයෙක්ව අත්දකින්න පුළුවන් තීව්‍ර ම ආකාරය තමයි ආදරය. ඒකට තියෙන වුවමනාව යම් විධියකට ගිලිහිලා තියෙනවා. අපි පුරුදුවෙලා තියෙන්නේ වේගයෙන් සහ සරලව දේවල් අල්ලා ගන්න. ආදරය කියන්නේ පුද්ගලයෙක්ව ශාරීරිකව, මානසිකව පුද්ගලයෙක්ව දකින්න පුළුවන් තීව්‍ර ම ආකාරය. ඒ කෑල්ල අපෙන් මේ යුගයේ ගිලිහෙනවා.
මේක කරදරයි වගේ එකක් තියෙනවා. ප්‍රේමය අපි අත්පත් කර ගන්න ඕනෑ දෙයක්. සමාජයේ හෝ පරිභෝජනවාදයේ ඉහළ ධුරාවලියකට යද්දී අවශ්‍ය වෙන එකක්. දැන් අපි හිතන්නේ එහෙම රස්සාවේ ඉහළට යන හැටි. සතියකට පොත් දහයක් කියවන හැටි. කාර්යක්ෂම වෙන හැටි. තීව්‍ර විධියට ආදරය කිරීම ඒකට බාධාවක්.’
ආදරේ නපුරුකම්
චාමර ගුරුගේ ප්‍රේමය ගැන නිර්මාණවල යෙදුණු නාට්‍යකරුවකු වගේම ගීත රචකයෙක්. ඔහු ආදරය නිසා ම ආදරයේ නපුරු කලාපයට අපව යොමුවෙන හැටි කීවා.
‘ආදරයෙන් බැඳෙනවා, වෙළෙනවා, වැටෙනවා වගේ වචනවල තියෙන්නෙම ඔළුව කෙලින් තියාගෙන ඉන්න මනුස්සයෙක් කඩාවැටෙනවා වගේ එකක්නේ. නිදහසට අප විසින් ම කර ගන්නා හානියක්, ඒක එක් අර්ථයකින්. ඒක තව අර්ථයකින් ඒක සුන්දර දෙයක්. අපි වක්‍රව බැඳීමක් වධයක් හැටියට ගන්නවා. අපේ ජීවිතවල තියෙනවා හිස කෙලින් කරගෙන හිටියාට අපට හැම වෙලාවෙම එහෙම හිතන සත්තු ජාතියක් නෙවෙයි. අපට ඕනෑ හුරතල් වෙන්න. අපට ඕනෑ වැටෙන්න. අපට ඕනෑ අඬන්න. අපේ දුර්වල පැත්තක් තියෙනවා. අපේ සාමාන්‍ය සමාජයීය ජීවිතයේ තරගකාරී ලෝකය එක්ක හැප්පෙනකොට අපි ඉන්නේ හරි පොල් ගස් වගේ කෙලින් කරගෙන ඒක එක්ක හැප්පෙන්න බලාගෙන. අපි එළියෙදී මුණගැහුණොත් එකිනෙකා ඇඹරෙන්නේ නැතිව ඉන්න බලනවා. ආදරයෙන් වෙළුණොත් අපි එකිනෙකා ඇඹරෙනවා. ආදරය හින්දා අපට හුරතල් වෙන්නට හෝ හඬා වැටෙන්නට ඇති වුවමනාවට අපි අවංක වෙන්න ඕනෑ. අප ඇතුළෙ මර්දනකාරී ලක්ෂණයක් හෝ යම්කිසි දුරකට රෝගී තත්ත්වයක් ඒවා එළියට එන්න පුළුවන් ආදරය ඇතුළේ. ඒවා වහගෙන ඉන්නම බෑ. එළියට එන්න ඕනෑ. ආදරයේ කලාපයේ දී මේ හැම දෙයක්ම විය හැකියි. තමන් ගැන සොයාබැලීම එක මොහොතක ආදරණීය දෙයක්. ඒත් ඒකම තව මොහොතකදී වධයක් වෙන්න පුළුවන්.
ඒත් අපට මේ ආදරයේ නපුරුකම් සමහරවිට එන්නේ එළියෙන්. ආදරේ අව්‍යාජ ම මොහොතේ දී අපව නිරාවරණය වෙනවානම් මොකද වෙන්නේ? බාහිර සමාජයෙන් අපට එල්ලවෙලා තියෙන හැම බලපෑමක්ම ආදරය කරන මොහොතේ දී මතු වෙනවා. අපේ මුළු ජීවිතේ ම විසකුරු සහ බියකරු එකක්නම්, ආදරය කරන මොහොතේ දී විතරක් ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.’
චාමර පෙන්වා දෙන්නේ සමාජ කඩාවැටීම් ආදරය තුළින් මතුවෙන බව. ආදරය කරන දෙන්නෙක් අතර බාහිර සමාජයේ බොහෝ පීඩාවන් එකිනෙකා මත පිටවෙන්න පුළුවන් බව. ඒ අනුව අප කාර්යාලයේ දී දැවැන්ත සූරාකෑමකට ලක් වන්නේනම්, අපේ කාලය, ජීවිතය, ශ්‍රමය කොල්ලකෑමෙන් පස්සෙ ඉතා අඩු වැටුපක් ගෙවන්නේනම්, එය අපේ ආදරය තුළින් පිටවෙන්න පුළුවන්. සමාජයීය පීඩනය ආදරය කරන කෙනා මතින් පිටවෙන්නත් පුළුවන්. අද සමාජයේ බියකරු සැකසංකා සහිත බව නිසා ම ආදරය කරන කෙනාව සැක කරන්නත් පුළුවන්. විශ්වාසය, බැඳීම මෙන්ම ප්‍රේමණීය බව අඩු වෙන්න පුළුවන්.
ප්‍රේම කරන්නට හරි විධියක් නැහැ. ප්‍රේම කිරීම ම වේදනාකාරී අභියෝගයක් වෙලා. අද අපි අභියෝග භාර ගන්නේ මූල්‍යමය ලාභයන් උදෙසා විතරයි. ප්‍රේමයෙන් එවන් ලාභයකුත් නැතැයි අපි හිතනවා. ඒ නිසා, අපි ජීවිතයේ වැදගත්ම කලාපයක් මඟහරිනවා. එහෙත් සැබෑ ප්‍රේමයක සුන්දරත්වය අන් කිසිවක නෑ. ඒ නිසා අපි ආදරෙන් වෙළෙමු.
