යාළුවෙකුට, හිතවතෙකුට හෝ පවුලේ කෙනෙකුට පොලිස් පහරදීමක් සිදුවුණොත්, කෝපය සහ වේදනාව අතරම මේ පියවර ඉක්මනින් ගැනීම වැදගත්. මොකද තුවාල සුව වෙනවා. CCTV දර්ශන මැකෙන්න පුළුවන්. මතකයේ තිබෙන විස්තර අමතක වෙන්න පුළුවන්. නමුත් නීතිමය සටනකට අවශ්‍ය සාක්ෂි මුලදීම නිවැරදිව සුරක්ෂිත කරගත්තොත් ඒවා ඉතිරි වෙනවා.
01. වහාම රෝහල්ගත වී තුවාල වාර්තා කරගන්න
පළමු පියවර රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමයි. වෛද්‍යවරයාට සිදුවූ දෙය නිවැරදිව කියන්න:
පහරදුන්නේ කවුද?
පහරදුන්නේ කුමන ස්ථානයේදීද?
භාවිත කළේ අත්, පා, ආයුධයක් හෝ වෙනත් උපකරණයක්ද?
ශරීරයේ වේදනාව, ක්ලාන්තය, ලේ ගැලීම හෝ වෙනත් අපහසුතා තිබේද?
වින්දිතයා ගන්නා ඖෂධ මොනවාද?
පොලිස් පහරදීමක් බව පැහැදිලිව සඳහන් කර අධිකරණ වෛද්‍ය නිලධාරි—JMO—පරීක්ෂණයකට යොමු කරන ලෙස ඉල්ලන්න. රෝහල්ගත කළ වේලාව, Bed Head Ticket හෙවත් BHT අංකය, diagnosis card, බෙහෙත් වට්ටෝරු, පරීක්ෂණ වාර්තා සහ රෝහලෙන් ලැබෙන අනෙකුත් ලේඛන සුරක්ෂිත කරගන්න.
තුවාල සෝදා පිරිසිදු කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට පෙර, හැකි සහ ආරක්ෂිත නම්, දිනය සහ වේලාව හඳුනාගත හැකි ආකාරයෙන් ඡායාරූප හා වීඩියෝ ගන්න. නමුත් සාක්ෂි එකතු කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද කරන්න එපා.
02. අපරාධ චෝදනාවක් ලෙස පොලිස් පැමිණිල්ලක් කරන්න
අදාළ පොලිස් ස්ථානයට ලිඛිත පැමිණිල්ලක් භාරදිය හැකියි. නමුත් චෝදනාව එල්ල වන්නේ එම පොලිස් ස්ථානයේම නිලධාරීන්ට නම්, පැමිණිල්ල එතැනට පමණක් සීමා නොකරන්න.
එහි පිටපත්:
ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට;
නියෝජ්‍ය පොලිස්පතිවරයාට;
පොලිස්පතිවරයාට;
Tell IGP පද්ධතියට;
අවශ්‍ය නම් පොලිස් විශේෂ විමර්ශන ඒකකයකට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන්න.
පැමිණිල්ලේ සිද්ධියේ දිනය, වේලාව, ස්ථානය, සම්බන්ධ නිලධාරීන්ගේ නම් හෝ හඳුනාගත හැකි විස්තර, භාවිත කළ බලය, තර්ජන, ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කළාද, දුරකථන භාරයට ගත්තාද සහ සිටි සාක්ෂිකරුවන් කවුද යන්න සඳහන් කරන්න.
මෙවැනි ක්‍රියාවක් 1994 අංක 22 දරන වධහිංසා සහ වෙනත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ වධහිංසා වරදක් හෙළි කළ හැකි බව පැමිණිල්ලේ සඳහන් කළ හැකියි. පනතේ 2 වගන්තිය වධහිංසාව අපරාධයක් බවට පත් කරන අතර උසස් නිලධාරියෙකුගේ නියෝගයක් මත කළ බව ආරක්ෂාවක් නොවන බව 3 වගන්තියෙන් පැහැදිලි කරනවා. 1994 අංක 22 දරන පනත
භාරදුන් සෑම පැමිණිල්ලකම පිටපතක්, ලැබුණු බවට මුද්‍රාවක්, පැමිණිලි අංකය හෝ ඩිජිටල් acknowledgement එක සුරක්ෂිත කරගන්න.
03. මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න
හැමෝටම වහා නීතිඥ ගාස්තු ගෙවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ගාස්තුවක් අවශ්‍ය නැහැ.
පැමිණිල්ල සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, පෞද්ගලිකව, තැපෑලෙන්, ඊමේල් මගින්, online හෝ 1996 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි. වින්දිතයා වෙනුවෙන් පවුලේ කෙනෙකුටත් පැමිණිලි කළ හැකියි.
වීඩියෝ, ඡායාරූප, වෛද්‍ය ලේඛන, පොලිස් පැමිණිලි අංක සහ සාක්ෂිකරුවන්ගේ තොරතුරු එයට අමුණන්න. වධහිංසා සහ නිදහස අහිමි කිරීම සම්බන්ධ පැමිණිලි සමථයකට යොමු නොකර විමර්ශනය කළ හැකි බව කොමිසම සඳහන් කරනවා. HRCSL පැමිණිලි ක්‍රමය
මෙහි ඉතා වැදගත් කාලසීමාවක් තිබෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් සාමාන්‍යයෙන් සිද්ධියෙන් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එම මාසය ඇතුළත වින්දිතයා විසින් HRCSL වෙත විධිමත් පැමිණිල්ලක් කළොත්, පැමිණිල්ල කොමිසම ඉදිරියේ පවතින කාලය මාසයක කාලසීමාව ගණනය කිරීමේදී ඉවත් කළ හැකි බව 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 13(1) වගන්තිය කියනවා. එහෙත් මේ කාලසීමාව ගැන තනිව උපකල්පන නොකර වහාම නීතිඥ උපදෙස් ගන්න.
04, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් පැමිණිලි කරන්න
පොලිසියට කරන අපරාධ පැමිණිල්ල සහ මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලට අමතරව, අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හා පොලිස් සේවයේ අසමත් වීම පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවට වෙනම පැමිණිල්ලක් කරන්න.
පොලිස් නිලධාරීන්ට සහ පොලිස් සේවයට එරෙහි මහජන පැමිණිලි විමර්ශනය කිරීමත්, විනය පාලනය සහ අවශ්‍ය සහන සැලසීමත් කොමිෂන් සභාවේ බලතලවලට ඇතුළත්. එහි online පැමිණිලි ද්වාරය මෙන්ම 1960 සහ 0710361010 යන දුරකථන අංකද භාවිත කළ හැකියි. ජාතික පොලිස් කොමිෂන් සභාව
05. CCTV සහ අනෙකුත් සාක්ෂි වහා සුරක්ෂිත කරන්න
පොලිස් ස්ථානයේ, පොලිස් වාහනයේ, අත්අඩංගුවට ගත් ස්ථානයේ සහ අවට වෙළෙඳසල්වල CCTV දර්ශන මැකී යා හැකියි. ඒවා සුරක්ෂිත කරන ලෙස පොලිස්පතිවරයා, ප්‍රදේශය භාර උසස් නිලධාරීන්, HRCSL සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලිඛිතව වහා ඉල්ලන්න.
මේ දේවල්ද සුරක්ෂිත කරගන්න:
මුල් වීඩියෝ සහ ඡායාරූප—edit නොකළ original files;
දුරකථන ඇමතුම් සහ පණිවිඩ වාර්තා;
අත්අඩංගුවට ගත් සහ රෝහල්ගත කළ වේලාවන්;
පොලිස් ත්‍රිරෝද රථයේ හෝ වෙනත් වාහනයේ අංකය;
සාක්ෂිකරුවන්ගේ නම් සහ දුරකථන අංක;
සිද්ධියෙන් පසු වහා ලියූ සම්පූර්ණ කාලරේඛාව;
ලේ තැවරුණු ඇඳුම් හෝ වෙනත් භෞතික සාක්ෂි—සෝදා හෝ වෙනස් නොකර නීතිඥ උපදෙස් මත ආරක්ෂා කිරීම.
06. මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය යටතේ වධහිංසාවෙන් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමෙන් නිදහස් වීමේ අයිතිය, 12(1) වගන්තියේ නීතියේ සමාන ආරක්ෂාව සහ 13 වගන්තියේ නීත්‍යානුකූල අත්අඩංගුව හා රඳවාගැනීම සම්බන්ධ ආරක්ෂාව කඩවී ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකියි.
මෙහි සාමාන්‍ය කාලසීමාව මාසයක්. ඒ නිසා “පරීක්ෂණය අවසන් වෙනකම් බලමු” කියලා බලා නොසිට වහාම නීතිඥයෙකු හමුවීම වැදගත්.
07. අවශ්‍ය නම් රිට් ආඥාවක් ඉල්ලන්න
මෙය මූලික අයිතිවාසිකම් පෙත්සමට සමාන ක්‍රියාමාර්ගයක් නොවේ. නමුත් වධහිංසා චෝදනාව සම්බන්ධයෙන් නීතියට අනුව විමර්ශනයක් නොකිරීම, පැමිණිල්ල භාර නොගැනීම හෝ බලධාරීන් තම නීතිමය වගකීම ඉටු නොකිරීම වැනි තත්ත්වයකදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය යටතේ අභියාචනාධිකරණයෙන් මැන්ඩේමස් ඇතුළු සුදුසු රිට් ආඥාවක් ඉල්ලා සිටිය හැකිද යන්න නීතිඥයෙකු සමඟ සලකා බැලිය හැකියි.
රිට් ආඥාවක් ලැබීම ස්වයංක්‍රීය දෙයක් නොවේ. ඉල්ලන නියෝගය, වගඋත්තරකරුවන් සහ පවතින වෙනත් ප්‍රතිකර්ම අනුව එය තීරණය වෙනවා.
08. තර්ජන තිබේ නම් වින්දිත සහ සාක්ෂිකරු ආරක්ෂාව ඉල්ලන්න
පැමිණිල්ල ඉවත් කරගන්නැයි බලපෑම්, දුරකථන තර්ජන, පසුපසින් යාම, පවුලට හිරිහැර කිරීම හෝ පළිගැනීමේ අවදානමක් ඇති වුණොත්, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ ජාතික අධිකාරියෙන් ආරක්ෂාව ඉල්ලිය හැකියි.
එම අධිකාරිය වින්දිතයන්ට තර්ජන, බියගැන්වීම් සහ පළිගැනීම්වලින් ආරක්ෂාව ඉල්ලීමට මාර්ග සලසා තිබෙනවා. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය
අවසාන වශයෙන්
මේ ක්‍රියාමාර්ග එකිනෙකට විකල්ප නොවේ. පොලිස් පැමිණිල්ලක්, HRCSL පැමිණිල්ලක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් සහ අධිකරණ ක්‍රියාමාර්ග එකවර හෝ සමාන්තරව ගත හැකියි.
මේ වගේ සිදුවීම්වලට නොමිලේ හෝ අඩු ගාස්තුවකට නීතිඥ සහාය ලබාදීමට කැමති නීතිඥයන් සහ මානව හිමිකම් සංවිධාන සිටිනවා. හැකි ඉක්මනින් එවැනි සහායක් ලබාගන්න.
වැදගත්ම දේ මෙයයි:
සිද්ධිය ප්‍රසිද්ධ කිරීම අවශ්‍යයි. නමුත් ප්‍රසිද්ධ කෝපය පමණක් නඩුවක් ගොඩනගන්නේ නැහැ. රෝහල් වාර්තාව, JMO පරීක්ෂණය, ලිඛිත පැමිණිලි, CCTV, මුල් වීඩියෝ සහ නියමිත කාලය ඇතුළත ගන්නා නීතිමය පියවර තමයි සාධාරණය ඉල්ලා සිටින සටනේ ශක්තිමත් පදනම
