උතුරේ අම්මලාගේ විරෝධයකට පොලීසිය බාධා කරලා

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අතුරුදන්වූවන්ගේ සැමරුම් උත්සවයට විරෝධය පෑ වයෝවෘද්ධ මව්වරුන් ඇතුළු ඥාතීන් පිරිසක් පොලිසිය විසින් බලහත්කාරයෙන් ඇද දමා ඉවත් කිරීම මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මගින් සංවිධානය කර තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්වලට ලක්වූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දින සැමරුම අතරතුර ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසලදී පොලිසිය ගත් මෙම ක්‍රියාමාර්ගයත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබුණා.

මෙම සිදුවීමට පෙර අගෝස්තු 24 වන දින මන්නාරමේ පැවති මාධ්‍ය හමුවකදී අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් අවධාරණය කළේ රජය මෙවැනි ජාත්‍යන්තර සැමරුම් පවත්වන්නේ නම්, යුද සමයේ නිදහස් කළ බවට ප්‍රකාශිත පුද්ගලයන්ගේ තොරතුරු වහාම හෙළිදරව් කළ යුතු බවයි.

වින්දිත මව්වරුන් කැඳවා මෙවැනි උත්සව පැවැත්වීම පෙනුමට පමණක් සිදුකරන රැවටිලිකාර ක්‍රියාවක් ලෙස පෙන්වා දුන් ඔවුන්, පවත්නා දේශීය යාන්ත්‍රණය පිළිබඳව තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවද එහිදී කියා සිටියා.

එම පසුබිම තුළ උතුරු–නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කළ අයගේ ඥාතීන්ගේ සංගමය විසින් ඊයේ දින නිල උත්සවයට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

එහිදී විරෝධතාකරුවෝ “OMP හි රැවටිලිකාර නාට්‍යය තවත් එපා” සහ “යුද හමුදාවට භාරදුන් අයට සිදුවූයේ කුමක්ද?” යන සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් හඬ නගා තිබුණා.

විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ රැඳී සිටියදී පොලිසිය ඔවුන් නිල උත්සවයෙන් සහ පරිශ්‍රයෙන් ඈත් කිරීමට පියවර රැගෙන තිබූ අතර එහිදී වයෝවෘද්ධ මව්වරුන් ඇදගෙන පිටතට රැගෙන යන ආකාරය වීඩීයෝ දර්ශන මගින් සඳහන් වුණා.

මේ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු මේ වන විට වේගවත් කර ඇති බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිල සැමරුම් උත්සවය අමතමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර තිබුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් මිලියන 375 ක මුදලක් සහ විමර්ශන කමිටු 25ක් සඳහා 2025 වසරේදී අනුමැතිය හිමිව ඇති බවයි.

එමෙන්ම ප්‍රමාද වී තිබූ ලිපිගොනු 3,000ක කටයුතු 2026 ජූලි මස අවසන් වන විට නිම කර ඇති බවත් සමස්ත මූලික විමර්ශන 2027 වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළා .

විමර්ශන අනුව ගොනු 1,594ක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ, නොපැමිණීමේ සහතික 2,719ක් සහ මරණ සහතික 409ක් නිකුත් කර ඇති බවයි.

චෙම්මනි සමූහ මිනීවළ කැණීම් හා නීතිමය කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 57ක මුදලක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

Author

Related Posts