අසේල කුරුළුවංශ
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කළ මුල් දින 07 දී පමණක් මහනුවර නගරයෙන් කසළ ටොන් 155 ක් එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
අලි වසුරු පමණක් ටොන් 16 ක් එකතු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය. කිතුල්, කොස් ඇතුළු අලි ඇතුන්ට කෑමට ලබාදෙන ද්‍රව්‍ය ටොන් 60 ක්ද අගුරු ටොන් 14 ක්ද ඉදුල් ටොන් 28 ක් ද මිශ්‍ර කසළ ටොන් 24 ක් ද පොලිතීන් ටොන් 12 ක්ද ඉවත් කර තිබෙන බව ඇය ප්‍රකාශ කළාය.
කොතරම් පෙර දැනුම් දීම් කළද ඇතැම් පිරිස් තමන් රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය නගරයේ තැන තැන දමා යන බවද කොමසාරිස්වරිය පැවසුවාය.
අවසන් රන්දෝලි මහ පෙරහර දින අති විශාල ජනතාවක් මහනුවරට නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් තමන් රැගෙන එන හෝ නගරයෙන් මිලදී ගන්නා ද්‍රව්‍ය නගරයේ නොදමා රැගෙන යන ලෙස ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළාය.
නගර සභාව මගින් පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු ඇතුළු සෙසු සේවාවන් වෙනුවෙන් 300 ක පමණ පිරිසක් දිවා රාත්‍රි සේවයේ යොදවා තිබේ.
