අසේල කුරුළුවංශ
මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීම සඳහා පනවා තිබෙන ඇතැම් ස්ථාන වල ආසන මිල රුපියල් 40000 ක් දක්වා ඉහළ දමා තිබේ.
මහනුවර මහ නගර සභාව මගින් අවසන් රන්දෝලි මහ පෙරහර ක්වින්ස් කොරිඩෝවේ සිට නැරඹීම සඳහා ආසන පනවා තිබෙන අතර එහි පළමු පෙළ ආසනයක මිල නියම කර ඇත්තේ රුපියල් 28000 කටය.
එම ආසන සියල්ල විකිණී අවසන් බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.
පෙරහර ආසන වැඩි මිලට අළෙවි කරන බවට තොරතුරු තමන්ටද ලැබී තිබෙන බවත් ආසන සම්බන්ධයෙන් මිල පාලනයක් කිරීමේ හැකියාව පෙරහර භාරයට නොමැති බවත් එහි සභාපති, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පවසයි.
ජනතාවට දරාගත නොහැකි ලෙස පෙරහර ආසන මිල ඉහළ දැමීම නතර කිරීම සඳහා මිල පාලන ක්‍රමයක් හඳුන්වාදීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවත් ලබන වසරේ සිට එවැනි වඩපිළිවෙළක් හඳුන්වාදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.
පෙරහර ගමන් කරන වීදි සියල්ල ඊයේ (26) දහවල් වනවිට ජනතාවගෙන් පිරි ඉතිරී ගොස් තිබුණු අතර ඇතැම් පිරිස් නගරයේ වීදි වල ඉටි රෙදි එලා ඉඩ අල්ලා ඒවා රුපියල් 3000-4000 වැනි මිල ගණන් වලට විකිණීමේ සිද්ධීන්ද පොලීසියට වාර්තා වී තිබිණි.
ඇතැම් ස්ථාන වල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඥාතීන් පෙරහර වීදි වලට යොමු කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඉහළ නිලධාරින් ඔවුන්ට ගෙන්වා අවවාද කර තිබෙන බවද දැන ගන්නට ඇත.
