විදුර ප්‍රභාත් මුණසිංහගේ ෆේස්බුක් සටහනකි
ක්ලබ් වසන්ත මිය ගියේය. ඔහු ගැන බොහෝ දේ අසන්නට ලැබේ. එමෙන්ම ඔහු ජීවත්ව සිටි කාලයේ ඔහුගේ වීඩියෝ සිය ගණනක් ඔහු විසින්ම මුහුණ පොතට මුදාහැරි බැවින් එයින් නිරූපනය වූ වසන්ත කෙනෙකුද සිටියේය. මේ ඇසෙන දේ සහ ඔහු විසින්ම තමන් ගැන පෙන්වූ දේ සියල්ල එක්ව ගත්කළ නිරූපනය වන චිත්‍රය කුමක්ද?
ඔහු ධනවතෙකි-බලවතෙකි-ඔහු දේශපාලන බලයට සමීපය-ඔහු දැවැන්ත පරිභෝජනවාදියෙකි- අඳින්නේ බ්‍රෑන්ඩඩ් පමණි- විශාල දේපල-වාහන හිමියෙකි- විශාල මිළ අධික මත්පැන් එකතුවක් ඔහු සතුව ඇත- මේ සියල්ලෙන් ඔහු සතුටුවෙයි-ඔහු ආදරණීය පියෙකි-මවට ආදරය කරන පුතෙකි- බිරිඳගෙන් වැඳුම් ලබන සැමියෙකි- තඩි පිරිමියෙකි-ඔහු සිය සමීපතමයින්ට හොඳින් සලකන බව පෙනෙන්නට තිබේ-ඔහු භක්තිමත්ය- ගෙදර ධාතු තබාගෙන වන්දනා කරයි- දාන මාන දෙයි- දෙවියන් වඳී- හොඳට කා බී විනෝද වෙයි- ඔහුගේ පාටි වලට මෙරට ප්‍රකට නලු නිලියන්-ගායක ගායිකාවන්-දේශපාලඥයින් සහභාගි වේ-විනෝද වන විට ඔහු පොඩි එකෙක් මෙන් නටයි-ඔහු චණ්ඩියෙකි-ඔහුගේ මුදල් ඉපයූ ආකාරය පිලිබඳ බොහෝ කතා තිබේ-ඔහු ගැහැණුන්ට කැත වැඩ කළ බවට- ඔවුන් සූරා කෑ බවට කතන්දර තිබේ- නීති විරෝධී ගිනි අවි ළඟ තබාගෙන හසුවීමට ගොස් දේශපාලන හයියෙන් බේරුනු බවට කතා තිබේ- සමහර නිලියකගේ ඝාතනයකට පවා ඔහු සම්බන්ධ යැයි සමහර යූ ටියුබ් චැනල්වල කියැවේ- නමුත් ඔහුව අගයන අයට ඒවා එතරම් වැදගත් නොවේ- ඔහුට ඕනෑ විටෙක ඕනෑ තැනක යා හැකිය- අපට බලපාන නීතිය-සදාචාරය ඔහුට එතරම් අදාල නොවේ- ඔහු සමාජයේ ගරු බහුමනට පාත්‍ර වේ- ආගමික පූජ්‍ය පක්‍ෂය ඔහුගේ අතේ නූල් ගැටගසයි-ඔහුට සිතුනු විට ඔහු පම්බල සන්ඩේ ෆන් ගනී-අප බොහෝ දෙනෙකුට නොමැති නිදහසක් ඔහු භුක්ති විඳී.
ඇත්තටම මේ අප බොහෝ දෙනාගේ ආශාවේ ඵෙක්‍යය නොවේද? ඔහු මෙරට පසුගිය දශක ගණනාව පුරා නිර්මාණය වූ ව්‍යාපාරික-පාදඩ-දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ රූපිකයකි-එහි නිර්මාණයකි-එහිම ගොදුරකි. කළෙක මේ ව්‍යාපාරික-පාදඩ-ප්‍රභූ දේශපාලන චරිත පැවතියේ එකිනෙකට උදව් කරගන්නා අන්‍යෝන්‍ය පැවැත්මකය. අද වන විට මේ චෞර රාජ්‍යය තුල මේ සියල්ල එකක් බවට ඌනනය වී තිබේ. එය වහා පරාජය කළ යුතු බවට වාදයක් නැත. නමුත් ඉහත කී වසන්ත ලෙසින් නිරූපිත චිත්‍රය අප බොහෝ දෙනෙකුගේ සිහිනය නොවේද? ඇත්තටම අප කැඩපතකින් මුහුණ බැලූවිට අපට ක්ලබ් වසන්තව මුණ ගැසෙන්නට හොඳටම ඉඩ තිබේ. එය ගැන නම් අතිශයින් බැරූරුම්ව සිතිය යුතුය. සුදන්ත මාධව මිතුරාගේ ගීයක එක් පද පේලියක මෙසේ කියැවේ.
“කා බිබී නටන රමණය ජීවිතය කියන- පාරෙ යන සෙනඟ දෝතින් සාදු කියනව ද?”

