සිංහබාහු! මෙලෙස වැරදුණේ කෙලෙස?

සිංහබාහු චිත්‍රපටියට ඔය සමාජ මාධ්‍යවල තරුණ කණ්ඩායමක් හිනා වෙන්නේ ඒකේ සමහර දෙබස්වල තියෙන හාස්‍යජනක කෑලි නිසා. විශේෂයෙන් සිංහයා මුලින්ම සුප්පා දේවියව වතුරේ නිරුවතින් නාන හැටි දකින කොටස හුවමාරු වෙන්නේ හාස්‍යයකුත් එක්ක.

අප්‍රේල් 18 වැනිදා සිට සිනමාහල්වල සිංහබාහු චිත්‍රපටිය තිරගතවීමට නියමිතයි. චිත්‍රපටියේ සිංදු කිහිපයක්, පූර්ව ප්‍රචාරක පටයක් සහ තව වීඩියෝ ක්ලිප් ටිකක් හුවමාරු වෙනවා. සමහරු චිත්‍රපටියට හාස්‍යයෙන් හිනා වෙනවා. ඒ අතරේ, චිත්‍රපටිය ගැන හරි ආසාවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා. චිත්‍රපටිය ගැන පූර්ණ විචාරයන් පසුවට කරන බලාපොරොත්තුවෙන් අපට කෙටි අදහස් කිහිපයක් දැනට හුවමාරු වෙන වීඩියෝ ගැන කියන්න තියෙනවා.

අපේ පළවැනි යෝජනාව චිත්‍රපටිය බලන්න කියන එක. සෝමරත්න දිසානායකට ඉතා සුන්දර රූප නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. සිනමාව කියන්නේ අනෙක් ඔක්කොම මැද රූපය කැමරාවට අල්ලාගැනීමක්. සූරිය අරණ වගේ චිත්‍රපටියක, සිරි පැරකුම් චිත්‍රපටියේ සෝමරත්න දිසානායක අල්ලාගෙන තියෙන රූප බලන්නට ආස තරම්. මේ චිත්‍රපටියේ දුෂේනිගේ රංගනය විශේෂයි. ඊටත් වඩා මේක ජැක්සන් ඇන්තනි, අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනිගේ පෞරුෂයන් සෙලිබ්‍රේට් කරන ෆිල්ම් එකක්. කවුරු මොනවා කිව්වත්- තිරයෙන් පිට ඔවුන් කොච්චර ආන්දෝලනාත්මක වුණත්- ඔවුන්ගේ රංගන ශෛලිය සහ සියල්ල අපේ සංස්කෘතික අවකාශයේ වැදගත් කොටස්.

ඉතින්, ඒ ගෞරවය දීලා- ලංකාවේ හැදෙන ඕනෑ ෆිල්ම් එකකට සහයෝගය දක්වන බව ප්‍රකාශ කරලා අපට මේ චිත්‍රපටිය හරියටම ප්‍රේක්ෂකාගාරයට දිරවන විදියේ එක්ක නොවුණේ ඇයිද කියන එක ගැන කතා කරන්න වෙනවා. අපට තැන් කිහිපයක් අදුනගන්න පුළුවන්.

චිත්‍රපටිය කෙළින්ම ප්‍රවර්ධනය කරන්නේ සෝමරත්න දිසානායකට මේ සිංහබාහු- සිංහ සීවලී- සිංහයා සහ සුප්පා දේවි කියන චරිත ඇතුළත් ඉතිහාස කතාව පිළිගන්න අමාරු බව කියමින්. ඒ නිසා අලුත් ‘අර්ථකතනයක්‘ දෙන බව කියමින්. ඒකේ අවුලක් නැහැ. හැබැයි! අපි කියන්නේ කොහොමත් සිංහයාගේ කතාව ඉතිහාස කතාවක් විදියට පිළිගන්නත් ඕනෑ නෑ. ඒක ඓතිහාසික ඇත්තක් බව පිළිගන්න සාධකත් නෑ. පැරණිම මූලාශ්‍රවල ලංකාවේ ශිෂ්ඨාචාර ආරම්භය ගැන කතාන්දර කිහිපයක් තියෙනවා. ඒ අතරින් මහානාම හිමි තෝරාගත්ත කතාව පමණයි ඔය.

කොහොම වුණත්, සිනමාකරුවෙක් ඇත්ත ඉතිහාස කතාවක් වෙනස් කිරීම සිනමාවට අලුත් දෙයක් නෙවෙයි.

මේවා වාර්තා චිත්‍රපටි නෙවෙයි. කතාන්දර වන නිසා, එම කතාන්දරය කීමේදී ඇත්ත කතාව වෙනස් කළ යුතුයි. ලෝකයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටි අතර සැබෑ කතාන්දර ඇසුරෙන් තැනූ ප්‍රධානම චිත්‍රපටි තුනක් තියෙනවා. Titanic, Bohemian Rapsody, Oppenheimer කියන එම චිත්‍රපටි තුනම සැබෑ සිදුවීම් කතා රසය වෙනුවෙන් වෙනස් කරලා තියෙනවා. ටයිටැනික් සැබෑ නැවේ කතාන්දරයට ප්‍රේම කතාන්දරයක් එහෙම්පිටින්ම ඇතුළත් කරලා. දෙවැනි චිත්‍රපටියේ කතා රසය වෙනුවෙන් ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිතයේ තැන් ගණනාවක් වෙනස් කරලා. ඒ සියල්ලට වඩා ක්වින්ටන් ටැරන්ටිනෝගේ චිත්‍රපටිවල මහා ඉතිහාස සිදුවීම්වල හරය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර තිබෙනවා. Inglorious Bastards චිත්‍රපටියේ සැබෑ ලෝක යුද්ධ ඉතිහාසයම උඩුයටිකුරු කරමින් ඇමෙරිකන් හමුදා කණ්ඩායමක් සහ යුදෙව් තරුණියක් හිට්ලර්ව කලින්ම මරා දමනවා. Once upon a time in Hollywood චිත්‍රපටියේදී කුප්‍රකට මැන්සන් ඝාතන සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ටැරන්ටිනෝට ඉතිහාසය අදාලම නෑ.

ඊටත් වඩා මෙතැනට අදාල වෙන ලස්සනම උදාහරණයක් තමයි අධ්‍යක්ෂ බ්‍රෙට් රැට්නර්ගේ hercules කියන 2014 චිත්‍රපටිය. ජනප්‍රවාදවල සිටින හර්කියුලිස් මිත්‍යා කතාන්දර ගොඩකින් නිර්මාණය වූවෙක්. ඒත්, ඒ සියලු මිත්‍යා යට හිටපු සැබෑ මනුෂ්‍යයෙක්ව හදුනාගන්නට උඩ කී චිත්‍රපටිය උත්සාහ කරනවා.

ඒ නිසා සෝමරත්න දිසානායක ඉතිහාසය වෙනස් කිරීමට අප විරුද්ධ වන්නේ නැහැ. එහෙත් එය පසුපස ඇති අරමුණත් ඒ එක්ක ගොඩනැගී ඇති කලාකෘතියේ ස්වභාවයත් ගැන පුංචි ප්‍රශ්නයක් දෙකක් අපට තියෙනවා.

ජාතිය බේරාගැනීම

සෝමරත්න දිසානායකගේ මූලිකම උත්සාහය මොකක්ද? අපේ ජාතියේ ආරම්භය ගැන තියෙන අසමසම කතාව බේරාගැනීම. බේරාගන්නවා කීවාට බේරාගන්න දෙයක් ඇත්තේ නෑ. ඒ කතාව කිසි අපල උපද්‍රවයක් නැතිව අවුරුදු දෙදාහකට එහා පැවතුණා. ඒත්, ඒ කතාව අහද්දී අවුරුදු සීයක විතර කාලයක් තිස්සේ අපේ සමාජයන්ට පොඩි මෙව්වා එකක් දැනෙනවා.

මොකද, සුද්දා මෙහේ පැළ කරපු වික්ටෝරියානු සදාචාරය අල්ලගෙන- ඒක අපේ සදාචාරය කරගත්ත අයට සිංහයා එක්ක සුප්පා දේවිය සහවාසයේ යෙදීමත්- ඊට පස්සේ සිංහබාහු සහ සිංහ සීවලී අතර ව්‍යාභිචාරී සම්බන්ධයත් කතාව ඇතුළේ තියෙන එක දරාගන්න අසීරු වුණා.

මේ ජාතියේ ආරම්භය ගැන නෙවෙයි!

ඇත්තටම මේ විදියට අපි කලබල වෙන්න ඕනෑද?

මහානාම හාමුදුරුවන් මහාවංශය ලියන කාලයේ ලාංකික ජාතියේ බිහිවීම ගැන තිබුණු ජනප්‍රවාද අතරින් මේක තෝරාගත්තේ අහම්බයකින් නෙවෙයි. මේ කතාවේ සිංහයෙක් ඉන්නේ, මේ ජාතියේ උරුමයටෙම නෙවෙයි- මේ රට පාලනය කරන මෞර්ය රජ පරම්පරාවේ උරුමයට පොඩි සිංහ ලේ ටිකක් මික්ස් කරන්න ඕනෑ වුණ නිසායි. ඊට අමතරව මේ කතාවට ව්‍යාභිචාරය අවේ- සිංහ ලේ තියෙන විජයගේ ලේ පිවිතුරු වෙන්න ඕනෑ නිසයි. හැබැයි මේ කතාව ඔබත් අපිත් වගේ එදා ඉදන් ලංකාවෙ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ගෙ ලේ ගැන කතාවක් නෙවෙයි. මේ රටේ බලවත් ප්‍රභූන්ගෙ ලේ ගැන කතාවක්.

ඒ නිසා මතක තබාගන්න, මේ සිංහ ලේ සහ අයියා-නංගි සහවාසය සිංහල ජාතියේ ආරම්භය ගැන එකක් නෙවෙයි. ඕක බොහෝ අය විකෘති කරමින් අවබෝධ කරගෙන ඉන්නේ. මේ ඇවිල්ලා ජාතිය පාලනය කරපු පාලකයාගේ ආරම්භය ගැන කතාව. ඒ කතාවෙම මහානාම හාමුදුරුවන් ලියනවා ලංකාවේ ස්වදේශීය ‘යක්ඛ‘ ගෝත්‍ර ගැන. කුවේණි ගැන. නාග ගෝත්‍ර ගැන. ලංකාවට වරින් වර ඉන්දියාවෙන්ම ආපු වෙනත් කණ්ඩායම් ගැන.

සමහරවිට සංක්‍රමණිකයන්, තවත් සමහරවිට ආක්‍රමණිකයන්. කොහොමහරි ඇවිත් පදිංචි වූ ඔවුන් විවිධාකාර භාෂාවන්- සංස්කෘතීන්- කර්මාන්ත- ආර්ථිකය- භාෂාව විතරක් නෙවෙයි ආගම පවා රැගෙනවිත් ලංකාවේ පැළපදියම් කළා. ඔරිජිනල් සිංහල වචන කියලා තියෙන්නේ අත, කද, බඩ ආදී ශරීරාංගවලට අමතන නම් විතරයි. අනෙක්වා සියල්ල පාහේ සංස්කෘත, පාලි, ද්‍රාවිඩියන් භාෂාවලින් ආපු වචන.

ඕවා මේවා අස්සේ මහානාම හිමි සෑහෙන කාලය ගලායෑමේ අවුලකුත් හදා තියෙනවා විජය කතාව බුදුන්ගේ සමයට සමපාත කරන්නත්- ඉන්පසු දේවානම්පියතිස්ස සමය වෙද්දී ඒ රජ පරපුර පිළිවෙලට හදන්නත් ගිහින්. ඒ ඒ රජවරුන්ගේ ධුර කාලයන්ගේ අවුරුදු අසමපාතයි. දේවානම්පියතිස්ස සහ අශෝක රජු අතර කාලය සමපාත වෙන්න ඕනෑ. එක් එක් රජවරුන්ගේ ධුර කාලවල දිග වෙනස් වෙන්න ඕනෑ. ඒවා මෙතැන කීවේ- ඇත්තටම මේ ඔක්කොම කතන්දර මෞර්ය රජ පරපුර ගැන මිසක් ලාංකික ජාතිය ගැන කතාවක් නෙවෙයි.

ඇත්තටම මහානාම හාමුදුරුවන්ගෙ කාලය වෙද්දී ඔය මෞර්ය රජ පරපුර සහ ලම්භකර්ණ පරපුර අතර රජ පුටුවට ගැටුම් තිබුණා. මෞර්ය පෙළපත බුදුදහමත් එක්ක ගැටගහලා ක්ෂත්‍රිය පරපුරක් විදියට පිවිතුරු විදියට නිර්මාණය කිරීමයි මහානාම හාමුදුරුවන්ගෙ අරමුණ වෙලා තිබුණේ.

ඉතින්, ඒක අස්සේ සෝමරත්න දිසානායක මහතා ‘සිංහල ජාතියේ කතාව‘ බේරාගැනීමට තැත් කිරීම නිෂ්ඵල වැඩක්. එල්ලෙ පිත්තෙන් ක්‍රිකට් ගහන්න යනවා වගේ වැඩක්.

අශිෂ්ඨත්වයෙන් මිදෙව්වාද?

ඒ මදිවාට සෝමරත්න දිසානායක මහතාට සිංහයා මනුස්සයා කරපු පළියට අශිෂ්ඨත්වයෙන් සිංහයාව බේරාගන්නත් බැරිවෙලා.

සිංහබාහු එකේ සිංහයා තිරිසනෙක් වීම නිසා ඇතිවෙච්ච අශිෂ්ඨත්වයෙන් ඒ කතාව මුදවාගන්න සෝමරත්න දිසානායකයන් කල්පනා කරද්දී, ඔහු නිර්මාණය කරන වීරයා කවුද? චිත්‍රපටිය බලන්නත් කලින් අපි දැකපු දර්ශනවලම පේනවා මේ කෙනා කාන්තාවකට ලිංගික හිරිහැර කරන හැටි.

කාව්‍යාත්මක භාෂාවකත්, සුන්දර රූපවලත්, පසුබිම් සංගීතයකත් ගිල්ලලා තිබුණාට ඇත්තටම වෙන්නේ මොකක්ද? තරුණියක් නාන හැටි හොරෙන් බලනවා වල් වැදුණු පිරිමි කල්ලියක්. ඊට පසසේ ඒ තරුණියගෙ ආරක්ෂාවට ඉන්න හැමෝවම බලහත්කාරයෙන් එළවනවා. එළවළා තරුණියට තර්ජනය කරනවා ඇදුම් නැතිවම ගොඩට ආවෙ නැත්නම් බලෙන් ගන්නවා කියලා. ඊට පස්සේ බලෙන්ම ඒ තරුණියව අරගෙන ගිහින් විවාහයට ගන්නවා.

ඉතින්, පොර සිංහයෙක් වුණත් කාන්තාවන්ට ගරු කරනවා නම් ශිෂ්ඨයි කියා කියන්නට හෝ තිබුණා. පොර මනුස්සයෙක් වුණත්, හදිසියේ කාන්තාවක් නාන හැටි දැක්කාම හැසිරෙන්නෙ ඔහොම වලත්ත තිරිසන් විදියට නම් සෝමරත්න දිසානයකය මහතා සිංහබාහුව තිරිසන්කමිනුත් පහළට ඇදලා දාලා කියලා තමා කියන්නට තියෙන්නේ. චුට්ටක් පරණ කාලෙ භාසාව අනුව පොඩි කියමනක් කීවා නං ‘ඕකාගෙ වලත්තකමට ගමම එකතුවෙලා අල්ලං- ඇට දෙකට දිමියො දාලා- දඩුකදේ ඕනෑ.‘

අධියථාර්තවාදය

අනෙක ඔය ඉතිහාස කතා පිළිගන්න බැරි බව කියමින්, ඒවායින් අධියථාර්තවාදය ඉවත් කරන්න ගියොත් අපේ සිනමාකාරයන්ට කෙළවරක් නැති වේවි.

පැහැදිලිව ලංකාවේ ඉතිහාසය ගැන කතාවක් විදියට ආවාට සිංහබාහු කතාව අධියථාර්තවාදී කතාවක්. අපේ ජාතියට අදාලව විතරක් නෙවෙයි, ආගමට අදාලවත් එවැනි අධියථාර්තවාදී කතා තියෙනවා. ජාතක කතා පොතේ අලිඇතුන්, සිංහයන්, හාවුන් ඇතුළු කොපමණ සතුන් ඉන්නවාද? ඔය හැම කතාවක්ම ආයෙත් යථාර්තවාදය ඇතුළේ අලුතින් තේරුම් ගන්න දෙයක් නෑ. මොකද, මේවා කතා මිසක් ඇත්ත නෙවෙයි. අපේ ආගම හා සංස්කෘතිය විතරක් නෙවෙයි ඕනෑ සංස්කෘතියක එහෙමයි. ඉන්දියාවේ රාමායනයත්, ග්‍රීසියේ ඔඩිසියත්, බ්‍රිතාන්‍යයේ ආතර් රජු සහ නයිට්වරුනුත් ඇතුලු කෙතරම් කතා ඓතිහාසිකව ඔප්පු නොවූ අධියථාර්තවාදී කතා ලෙස පවතිනවාද? ඒවායේත් කෙතරම් සදාචාරාත්මකව අවුල් තැන් තියෙනවාද?

ඒ කතාන්දර පාදක කරගෙන යථාර්තවාදී කතා හදන එක ලස්සන කලාත්මක වැඩක්. ඒත්, හරි පදනම් සහගත අරමුණක ඉදගෙන. මේකටම තව උදාහරණයක් කීවොත්, අපි පොඩිකාලේ බලපු රොබින්හුඩ් කතා බලන්න. ඒක යථාර්තවාදී රොබින් හුඩ් ජනප්‍රවාදය පාදක කරගෙන හැදූ අධියථාර්තවාදී කතාවක්. ඉංග්‍රීසි සංස්කෘතියේ ප්‍රකට වූ රොබින් හුඩ් කතාවේ හර්න් දෙවියන් ආදී මිත්‍යා විශ්වාස ප්‍රබල විදියට තිබුණේ නෑ. එහෙත්, රූපවාහිනී කතා මාලාව ඒ වැඩවසම් යුගයේ තිබුණු අදුරු ස්වභාවය පෙන්වන්නට අර මිත්‍යා විශ්වාස ලස්සනට මිශ්‍ර කරනවා. මායාව- දෙවිවරුන් කතාවට මිශ්‍ර වෙනවා. ඉතින්, යථාර්තය සහ මායාව මිශ්‍ර වෙන එක අවුලක් නෑ.

නාට්‍යරූපී වීම

ඒත්, මේ අධියථාර්තවාදී කතාව කියන්නට ඕනෑ වුණේ සිංහබාහු චිත්‍රපටියේ දෙබස් ගැනත් කතා කරන්න ඕනෑ නිසා. සිංහයාව මනුස්සයෙක් කරමින් කතාව යථාර්වාදී කළාට- චිත්‍රපටියේ දෙබස් ඇතුළු සියලු දේ නාට්‍යධර්මී ස්වරූපයකින් එනවා. දෙබස් කවි වාගේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක යථාර්තවාදය ඉක්මවූ එකක්. ඒ වගේම නළුනිළියන් බොහොමයකගේ රංගනයත් අධියථාර්තවාදීයි. ලංකාව ඇතුළේ හරියටම කීවොත් වේදිකා නාට්‍ය රංගනය සහ සිනමා රංගනය එකට මික්ස් කරපු සීමාව ඉක්මවා හැගීම් රංගනය තුළින් එළියට ගෙනෙන ජැක්සන් ඇන්තනි ස්ටයිල් එකේ රංගනයක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.

චිත්‍රපටිවල දෙබස් ඒ ආකාරයෙන් ලියන එකත්, එවැනි රංගනයක යෙදීමත් කිසිම ගැටලුවක් නෑ. සාමාන්‍ය දෙයක්. ඒත්, මෙතැන වැරදිලා තියෙන්නේ ඒ දෙබස් ලියා තියෙන විදිය සහ නළුනිළියන් රගපාන විදියට සමහර වෙලාවට ගැළපෙන්නේ නැති වීම.

ඒ කියන්නේ- චිත්‍රපටියේ මැද එක තැනක එකවරම ධර්මප්‍රිය ඩයස් කට ඇරගෙන ඉන්න රූපයක් පෙනෙනවා. ඔහු පැහැදිලිව වඩාත් යථාර්තවාදී සිනමා රංගනයක යෙදෙන්න බලනවා. සුප්පා දේවිය වගේම සිංහ සීවලියත් තමන්ට හැකි අන්දමට ලංකාවේ ටෙලිනාට්‍ය රංගනයක් වගේ එකක් ගොඩ දමන්න බලද්දී, ඇන්තනි පවුල බය නැතිව නාට්‍යරූපී රංගනයක විශිෂ්ට විදියට යෙදෙනවා. ඒ නිසා රංගනයක් එකිනෙක මික්ස් වෙන්නේ අවුල් විදියට. ප්‍රේක්ෂකයාව එකම ටෝන් එකක තියන්න පොඩ්ඩක් බැරි වෙනවා. ඒ මදිවාට චිත්‍රපටියේ බ්‍රා හුක් එක දමන කොටසක් තිබීමත්, රජ කාලෙ නොතිබුණ ජාතියේ ඇදුම් තොගයක් තිබීමත් නිසා සම්පූර්ණ කතාවට පොඩි අසම්පූර්ණ- ළදරු- කාටූන් ගති ලක්ෂණ එකතු කරලා තියෙනවා.

සෝමරත්න දිසානායකගේම සිරිපැරකුම් චිත්‍රපටියේ ඒක දකින්න ලැබුණේ අඩුවෙන්. නාට්‍යරූපී සහ යථාර්ථවාදී කෑලි තැනක දෙකක මිශ්‍ර වුණාට බොහෝ විට ගැමි දර්ශන හරියට මික්ස් වෙලා තිබුණා.

ඔන්න ඕවා නිසා තමයි මෙලෙස- කෙලෙස කියද්දී පොඩ්ඩක් ඒක හාස්‍යයට ලක් වුණේ.

ගල්ලෙන බිදලා

සිංහබාහු කතාව රූප කලාවට නැගීම පැත්තෙන් අපට මහාචාර්ය සරච්චන්ද්‍රගේ අග්‍රගණ්‍ය නාට්‍ය සිංහබාහු මගහැර යන්න බැහැ. සරච්චන්ද්‍රගේ සිංහබාහු සිංහයෙක්. මේක වේදිකා නාට්‍යයක් වෙද්දී, සිංහයාගේ චරිතය කේසර වාගේ හිසට ලොකු රෙදි විග් එකකුත්, දිගු නියපොතුත් මුහුණේ සිංහ මුහුණක් මැවෙන වේෂ නිරූපණයකුත් එක්ක තමයි ඒ චරිතය ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒ තිරිසන් සිංහයා සුප්පා දේවිය ඉස්සරහා අශිෂ්ඨ විදියට හැසිරෙන්නේ නෑ.

මේ කතාවේ මූලිකම අරමුණ ‘සිංහල ජාතිය‘ තිරිසන්කමින් බේරාගැනීම නෙවෙයි. ඒ වෙනුවට මේ අධියථාර්තවාදී කතාව ඒ ආකාරයෙන් පිළිගත්ත සරච්චන්ද්‍රයන් උත්සාහ කරන්නේ පැරණි නාඩගම් ගීත සම්ප්‍රදායත් ලස්සනට මුසු කරගෙන පවුල ගැන කතාන්දරයක් කියන්නයි. පිය-පුතු ගැටුම සහ පෙර පරපුර හැදූ සීමා බිදගෙන – ගල්ලෙන් බිදගෙන- ඉස්සරහට එන හැටි මේ නාට්‍යයේ කතා කරනවා. පිරිමින්ගෙ ආධිපත්‍යය ඇතිව සියලු තීන්දු ගනිද්දී කාන්තාවන් ඒවාට මැදි වෙන ආකාරය මේ නාට්‍යය තුළින් කතා කළ හැකියි.

ඒ නාට්‍යය පුරාවට චරිත සිංදු කියනවා, ගායන වෘන්දය සහ පොතේ ගුරු මැදිහත් වෙනවා. එහෙම තිබියදීත් ඒක වඩා යථාර්තවාදී විදියට සමාජයීය කතාවක් කියනවා. ඒ වැඩේදී ෆිල්ම් එක අසමත් වෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ.

මූලිකම ප්‍රශ්නය අර මුලින් කී එක. චිත්‍රපටිය හදන්න හේතු වූ අරමුණම හරි කතාවක් කීමට වඩා- ජනප්‍රවාදයක රොඩු ඉවත් කිරීමේ උත්සාහයක්.

ඒ සියල්ල කියද්දී අපි අවසන් කරන්න ඕනෑ සෝමරත්න හොද ඇහැක් තියෙන කලාකරුවෙක් බව කියමිනුයි. ඔහුත් අපිත් අතර කතාන්දර කීම ගැන පරම්පරා ගැටුමකුත් ඇති. අපි මොන මගුල වුණත් ලංකාවේ සිනමාවට සහයෝගය දෙන්න ඕනෑ. ඒ නිසා, සිංහබාහු ෆිල්ම් එක බලලා තමන්ගේ අදහස අනෙක් අය එක්ක බෙදාගන්න කියා අපි හැමෝටම යෝජනා කරනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading