මේ වනවිට මහත් ආන්දෝලනයට ලක්වී ඇති ජුනි 08 වැනිදා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීම වීඩියෝ පටිගත කිරීමකට ලක්වී නැති බව අපගේ පාර්ලිමේන්තු මූලාශ තහවුරු කරයි.
එදින පැවති මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමට විපක්ෂයේ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනා වන රෝහිණී කුමාරි විජේරත්න හා චාමින්ද්රානි කිරිඇල්ල සහභාගි වී නැති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරියන් පමණී.
එම ප්‍රශ්නගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීම සඳහා හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි දැරියක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිදුවීමට අදාළව විමර්ශන සිදුකරන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කැඳවා තිබුණ අතර එයට පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබුණි.
එම රැස්වීමේදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අංශ ප්‍රධානී නීතිඥ සංජීවනී අබේකෝන්ගෙන් එම සිදුවීම සම්බන්ධ ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳ ප්‍රශ්න කළ බව මාධ්‍ය වාර්තා කළ අතර වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කළේ එම රැස්වීමේ කිසිඳු තොරතුරක් පිටතට නොයෑමට වග බලාගන්නා ලෙස සංසද සභාපති මන්ත්‍රීවරිය එහි කැඳවා තිබූ රාජ්‍ය නිලධාරීන්ට නියෝග කර තිබූ බවයි.
මේ අතර අද (ජුනි 10) ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එම සංසද රැස්වීමේ කරුණු බීබීසි සේවය වාර්තා කිරීම මගින් ඇයගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවේ ආචාර්ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කෙරුණි.
එම වරප්‍රසාද ප්රශ්නය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ ඇය සම්බන්ධයෙන් එම බීබීසි වාර්තාවේ ඇති කරුණු එකක් හැර අනෙක් ඒවා වැරදි බවයි.
