කප්පම් ලබා ගැනීම සඳහා තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහි නඩුව නොවැම්බර් 02 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහගේ සභාපතිත්වයෙන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න හා සුජීව නිශ්ශංකගෙන් සමන්විත ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ජුනි 09 දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදී ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
මේ සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔක්තෝබර් 26 දින කැඳවීමට දින නියම කර ඇති බැවින් එහි තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු මහාධිකරණ නඩුව විභාගයට ගන්නා ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා ඇත. ඒ අනුව ඉන්පසු දිනයක එම නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම එම නඩුවේ 14 වැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඔහුව ඔහුව එසේ නම් කිරීම බලරහිත කරන ලෙස රිට් පෙත්සමක් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති අතර එම නඩුවේ විත්තිකරුවකු වන විශ්‍රාමික රියර් අද්මිරාල් ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම නඩුව කැඳවූ පසු සලකා බැලීමට නියමිතය.
