දූෂණ චෝදනාවලට වරදකරු වී වසර 16ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් ඊයේ (09) මෙම තීන්දුව ලබා දෙන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර, එහිදී විනිසුරුවරයා නියෝග කළේ ගොනු කර තිබූ නඩු හතරටම වරදකරු කරමින් එක් එක් නඩුව සඳහා වසර හතර බැගින් වන පරිදි වසර 16ක බරපතල වැඩසහිත සිරදඬුවම් පැනවීමටයි. ඊට අමතරව, මෙම සිරදඬුවමට පරිබාහිරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ද ගෙවන ලෙසට විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කරන ලදී.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණේ 2006 වසරේදීය. ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනයට කුලී පදනම මත ලබාගත් වාහන තුනක හිමිකරුවන්ට අනිසි වාසියක් සැලසෙන අයුරින් කටයුතු කර රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබුණි.
