ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව CCTV දර්ශන සහ දුරකතන වාර්තා සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතින බව මරණ පරීක්ෂණ ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය අද (09) පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් 9 වන දිනටත් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලද අතර, කපිල චන්ද්‍රසේන මියගිය බව පැවසෙන නිවසේ පදිංචි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ, එම නිවසේ සේවකයන් මෙන්ම කපිල චන්ද්‍රසේනගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 21 දෙනෙකුගේ සාක්ෂි මේ වන විට මෙහෙයවා තිබේ.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව නම් කර සිටි ප්‍රධාන සාක්ෂිකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය සාක්ෂි ලබා දෙනු ලැබීය.
එහිදී කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. උදේෂ් දමයන්ත (22 වන සාක්ෂිකරු), අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර ද සිල්වා (25 වන සාක්ෂිකරු) සහ පොලිස් CCTV කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් මදුෂ සමීර සම්පත් (29 වන සාක්ෂිකරු) යන නිලධාරීන් මෙලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.
එහිදී සාක්ෂි ලබා දුන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. උදේෂ් දමයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත තමන් අදාළ අපරාධ ස්ථානය වෙත ගිය බවත්, එහිදී එම ස්ථානයේ සිටි රියදුරන් දෙදෙනෙකුගෙන් සහ සුළු සේවකයින් තිදෙනෙකුගෙන් ද, එම ස්ථානයට පැමිණි වෛද්‍යවරිය සහ ඇයගේ කාර්ය මණ්ඩලයෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවයි.
ඉදිරිපත් වූ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19 වන දින යළි කැඳවීමටත් සිද්ධියට අදාළ සෙසු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීම මීළඟ නඩු දිනය දක්වා කල් තැබීමටත් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කර තිබේ.
එහිදී සාක්ෂි ලබා දුන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. උදේෂ් දමයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත තමන් අදාළ අපරාධ ස්ථානය වෙත ගිය බවත්, එහිදී එම ස්ථානයේ සිටි රියදුරන් දෙදෙනෙකුගෙන් සහ සුළු සේවකයින් තිදෙනෙකුගෙන් ද, එම ස්ථානයට පැමිණි වෛද්‍යවරිය සහ ඇයගේ කාර්ය මණ්ඩලයෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවයි.
මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, සිද්ධියට අදාළ සෙසු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීම මීළඟ නඩු දිනය දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.