මැයි පළවැනිදා මාධ්‍යවේදීන් අභිමානය වෙනුවෙන් පාරට බහින්නම ඕනෑ!

තරිදු උඩුවරගෙදර

අප මේ ඉන්නේ ජනමාධ්‍යවේදී වෘත්තියම හෑල්ලුවට ලක් වූ යුගයක බව හැගේ. සමාජ තත්වය අතින් පමණක් නොව, බොහෝ පැතිවලින් හෑල්ලුවට ලක් වූ යුගයක් බව හැගේ.

මේ අභිමානවත් රැකියාව සතු බලය, ශක්තිය සහ ගෞරවය දිගින් දිගටම කෙලෙසෙමින් පවතින අතර මේ රැකියාවේ යෙදෙන බොහෝ දෙනෙක්ට රස්සාව අත්හැර ජීවත් වෙන්නට වෙනත් රැකියාවකට යොමු වෙන්නට සිදුව තිබේ. නැත්නම්, ජීවිතය රැකගන්නට තමන්ගේම ස්වාධීනත්වයත්, අවංකභාවයත් ආරක්ෂා නොවෙන අන්දමේ ක්‍රියාවන්හි යෙදීමෙන්ය. මේ රැකියාව අවංකව කරන්නන් නොමැති බව එයින් නොකියැවේ. එය ඉතා අසීරුය. රස්සාව රැකගැනීමම තරගයක් වී තිබේ.

අප, මෙවර මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේදී මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් මාධ්‍ය සේවකයන්ට එක්ව පෙළගැසී පා ගමනක නිරත වීමට ආරාධනා කරන්නේ අපගේ වෘත්තියේ අභිමානය රැකගැනීමේ හා ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදැරිවය.

මෙරට වෘත්තිය සමිති, ධීවර සංගම්, ගොවි සංවිධාන, වෘත්තිකයන්ගේ සංවිධාන සහ තවත් බහුජන සංවිධාන රැසක් එක්ව සංවිධානය කරන ‘වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය‘ මැයි 01 වැනිදා උදෑසන 10ට ලේක්හවුස් වටරවුම අසලින් ආරම්භ වේ. ඒ ඒ සංවිධාන තම තමන්ගේ අනන්‍යතාව සහිත පාගමන් එම පොදු පාගමනට එකතු කරනු ඇත. පත්තර මහගෙදර ඉදිරිපිටින් ආරම්භ වෙන එම පාගමනට, මාධ්‍යවේදීන්ගේ පාගමනක්ද එක් විය යුත්තේ, අපගේ රැකියාවේ අභිමානය රැකගැනීම උදෙසා වූ ගමනේ අලුත් පිම්මක් පනින මොහොතක් ලෙසය.

ඒ අනුව, මාධ්‍ය සංවිධාන කිහිපයක් එයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබේ. තවත් මාධ්‍ය සංවිධානවලට කතා කරමින් සිටී. දැනටමත් මාධ්‍යවේදීන්ගේ පාගමනක් පැවැත්වීමට සියල්ල සූදානම්ය.

සෑම දිනකම අනෙක් සියලුදෙනාගේම අයිතිවාසිකම් ගැන කතාවලට ඉඩකඩ ලබා දෙන මාධ්‍යවේදීන් තමන්ගේම අයිතින් ගැන අඩුවෙන්ම කතා කරන බව අපි අත්දැක ඇත්තෙමු.

අභිමානය! අපට පැති ගණනාවකින් කැටි කළ හැකිය. එක් පසෙකින් අප සියලුදෙනා අපගේ කර්මාන්තයේ උන්නතිය උදෙසාම, මාධ්‍ය වේදීන්ට ඉහළ වැටුප්, ජීවන තත්වයන් ඉල්ලා සිටිය යුතුව තිබේ. ප්‍රාදේශීය වාර්තාකරුවා, මාණ්ඩලික වාර්තාකරුවා, කතෘ මණ්ඩල සාමාජිකයා, ප්‍රවෘත්ති අංශ සාමාජිකයා, නිෂ්පාදකවරයා, කතෘවරයා ඇතුළු සියලුදෙනාටම අභිමානවත් ජීවන තත්වයක් වෙනුවෙන් අප පෙනී සිටිය යුත්තේ, සාධාරණ වැටුප් සහ පහසුකම් සනාථ කරවාගනිමිනි.

බැලූ බැල්මට වැඩි වැටුප් ඉල්ලීම ආයතන සමග ගැටුමක් යැයි හැගී යා හැක. ආයතන හිමිකරුවන් සමග අප සාකච්ඡා කළ යුත්තේ, අපගේ කර්මාන්තයේම උන්නතියට එවැනි උසස් රැකියා තත්වයන් ඇති කිරීම හේතු වන බවය. ප්‍රමිතියෙන් යුතු මාධ්‍යවේදීන් තරම්, මෙම කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් අවැසි අන් කිසිදු සම්පතක් නැත.

ආයතන කිහිපයක ගෙවීම් පැහැරහැරීම් නිසා මාධ්‍යවේදීන් අපහසුතාවට පත්ව සිටී. ඇතැම් ආයතනවල ගෙවීම් නිසියාකාරව සිදු වුණත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. කොවිඩ් අර්බුදයෙන් පසු මාධ්‍යවේදීන්ගේ රැකියා අහිමිවීම්, කප්පාදු සහ නිදහස් මාධ්‍යවේදීන්ට ලැබී ඇති වැඩ ප්‍රමාණයේ අඩු වීම් ආදී බොහෝ ගැටලු අප සියලුදෙනා පුළුල් සාකච්ඡාවන්ට ලක් කළ යුතු තත්වයන් වී තිබේ. ඇතැම් මාධ්‍යවේදීන්ට නිවසේ සිටින්නට සිදුවී තිබේ. මේවා එදිනෙදා අත්දැකීම් නොවිය යුතුය. මේවා වෙනස් කළ යුතුය. ඒවා විසදාගන්නට යන ගමනක් උදෙසා අපි එකිනෙකාව මුණගැසී, එකිනෙකා සහෝදරත්වයෙන් පා ගමනක ගමන් කරමින්, සාමූහික ක්‍රියාකාරකමකින් පෙරමුණ ගත යුතුය.

අපගේ රැකියාවේ අභිමානය ගැටගැසී ඇත්තේ, නිදහසේ ආරක්ෂිතව රැකියාවේ යෙදෙන්නට ඇති හැකියාවත් සමගය. පසුගිය වසර දෙකතතුනක කාලසීමාව තුළ මාධ්‍යවේදීන්ට පාරේදී පහරදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පොලීසිය ඇතුළු ආයතනවල එදිනෙදා සංස්කෘතිය තුළම මාධ්‍යවේදීන්ට පහරදීම කාවැදී තිබෙන්නේ, තමන්ගේ පැවැත්මට මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීම කිසිදු හානියක් නොවන බවට හැගීමක් ඇති කරමිනි. මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්වීම්, බන්ධනාගාරගතවීම් පසුගිය වසර කිහිපය තුළ අන් කවරදාටත් වඩා සිදු වී තිබේ. එම නිසා, ඕනෑ තැනකදී අපගේම ආරක්ෂාව උදෙසා අපට හඩ නගන්නට සිදුව තිබේ. විශේෂයෙන් අපගේ සහෝදර දෙමළ කතාකරන මාධ්‍යවේදීන් මුහුණදෙන්නේ අසීරුම තත්වයන්ටය. දෙමළ කතා කරන සහෝදර මාධ්‍යවේදීන් මුහුණදුන් ඇතැම් සිදුවීම්, රටේ සාකච්ඡාවට පවා බදුන් වී නොමැත.

සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට අමතරව නව මාධ්‍ය ප්‍රවණතා නියෝජනය කරන මාධ්‍යවේදීන් තමන්ටම ආවේණික ගැටලුවලට මුහුණදෙමින් සිටී. ඇතැම්විට සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල සේවය කර අත්දැකීම් ඇත්තවුන් ස්වෙච්ඡා මාධ්‍ය ආයතන ආරම්භ කරමින් නව ප්‍රවණතා අත්හදා බලමින් සිටි. බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ජනනය මෙන්ම ප්‍රකාශනය වඩාත් විචිත්‍ර සහ පුළුල් කිරිමට ඔවුන් දායකත්වය ලබා දෙයි.

ඇතැම් විට මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් නොවන අයද නව ජනමාධ්‍යකරණය අත්හදා බලමින් සිටී. එවැනි බොහෝ අය දැනුමින් සහ අධ්‍යාපනයෙන් සන්නද්ධ වීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතුය. නව මාධ්‍යවලට මේ වෙද්දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත වැනි නව අභියෝගවලටත් මුහුණ දෙන්නට සිදුව තිබේ.

නව ප්‍රවණතා නියෝජනය කරන්නන් මෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල සේවය කරන්නන්ද පොදුවේ නව මර්දන පනත්වල අවදානමට ගොදුරු වී සිටී. එමෙන්ම තමන්ගේ මාධ්‍ය ආයතන ලියාපදිංචිය, නිසි පිළිගැනීමක් ලබාගැනීම ආදියද ඔවුන්ට අභියෝගයක් වී තිබේ. විධිමත් සහ ගෞරවණීය ආකාරයට රැකියාවේ යෙදීමට ඔවුන්ට පසුබිම සකසා ගන්නට නම් අප සියලුදෙනා එක් විය යුතුය.

ප්‍රකාශන නිදහස පිළිබද අභියෝග අතින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවලට කැදවා මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාද නීති ඇතුළු නොයෙකුත් නීති භාවිතා කරමින් මාධ්‍යවේදීන් විමර්ශනයන්ට ගොදුරු කරමින් ඔවුන් කෙරෙහි තර්ජනාත්මකක හැසිරීම් රාජ්‍යය විසින් පෙන්වා ඇත. එවැනි සිදුවීම් ගණනාවක් ගැන අසන්නට ලැබෙද්දී, අප එය අනුමත නොකරන බව හඩ ගා කිව යුතුය.

අප මැයි 01 වැනිදා එකතු වීම, මෙම තත්වයන්ගෙන් මිදී අප වෘත්තියේ අභිමානය රැකගැනීම උදෙසා, එදිනෙන් එහාට පෙළගැහෙන බොහෝ පියවරයන් සදහා මුල් පියවරක් වනු ඇත. එදින මුණගැසී, කතාබහ කරන අප නුදුරු අනාගතයේදී සාමූහිකව අපගේ වෘත්තිය වඩාත් ගෞරවණීය තැනකට ඔසවා දමන ආකාරය ගැන කතා කරමු.

සාම්ප්‍රදායික පැවැත්ම නිසා තෙහෙට්ටු වී, හෙම්බත් වී සිටින සමාජයක් අලුත් කරන ඓතිහාසික නිමේශයක ශ්‍රී ලංකාව සිටී. එවැනි මොහොතක අපගේ කර්මාන්තයේ, අපගේ වෘත්තියේ උන්නතිය වෙනුවෙන් අප අලුත් ගමනකට යොමු විය යුතුමය.

මේ වෘත්තියේ අභිමානය වෙනුවෙන් අපි මැයි දිනයේදී සහෝදරත්වයෙන් එකතුවෙමු!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading