ෂෙනූ පෙරේරා

රැකියාවට සම්බන්ධ වැඩ සටහනකදි හාමුදුරු කෙනෙක්ව මුණගැහුණා මේ සතියෙ. තායිලන්ත ජාතික හාමුදුරුනමක් උන්වහන්සේ. තායිලන්ත ජන සමාජයේ සාමය ගොඩනැංවීමේ වැඩවල නිරත වෙලා ඉන්න සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට තමයි මගේ රැකියාව ඇතුළෙ මට එයාව මුණගැහෙන්න. එයා එයාගෙ කතාව කියන්න පටන් ගන්න වෙලාව එද්දිත් මම කල්පනා කර කර හිටියෙ හාමුදුරුනමකට අපි එක්ක බෙදාගන්න ඇත්තෙ මොන වගේ කතාවක්ද කියන එක.
එයාගෙ කතාවෙ කොටසක දළ පරිවර්තනය තමා මේ.
” මම බෞද්ධ කෙනෙක් උපතින්ම. මගේ තාත්තා අපිව අත ඇරලා වෙන කසාදයක් කරගත්තා. ඒක මගේ අම්මට හුඟාක් බලපෑවා. එයා හුඟාක් දුක් වින්ඳා. මගේ තාත්තගෙ දෙවෙනි කසාදෙ බිරිඳ මුස්ලිම් ගැහැණු කෙනෙක්. ඒ නිසා මගේ අම්මා මට නිතරම කිව්වා ” පුතේ මුස්ලිම් අය එක්ක කිසිම විදිහකින් ගණුදෙනුවක් තියාගන්න එපා” කියලා. මම උස්මහත් වුණේ අම්මගෙ වේදනාව දිනපතා දකිමින්. අහමින්.
ඊටපස්සෙ මම විශ්ව විද්‍යාලෙට ගියා. මාව විශ්ව විද්‍යාලේ යවලා උගන්නන්න අම්මා මහා දුකක් වින්ඳා. මාව යැව්වට මට කන්න දෙන්න එයාට පුළුවන්කමක් තිබ්බෙ නැහැ. මට ඒක තේරුණා ඉක්මනින්. මට බඩගින්න දරාගන්න බැරුව මම කැම්පස් එකේ කැන්ටින්වලට ගිහින් කන්න ඉල්ලුවා අන්‍තිමේදී. ඒ හැම කැන්ටින් එකකින්ම මාව ප්‍රතික්ෂේප කරා. හැබැයි එක කැන්ටින් එකක අය මට එන්න කියලා කන්න දුන්නා. මගේ විශ්ව විද්‍යාල ගමන අවසන් වෙනකන්ම එයාලා මට කන්න දුන්නා. මාව ප්‍රතික්ෂේප කරපු කැන්ටින් අයිති මිනිස්සු බෞද්ධයො. මට අවුරුදු හතරක් කන්න දුන්නෙ මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක්. මම අධ්‍යාපනය ඉවර කරලා ගෙදර එද්දිත් මගේ අම්මා, එයාගෙ බිඳුණු හදවතෙන්මයි ලෝකය දකිමින් තිබ්බෙ. හැබැයි මට තව දුරටත් එහෙම බලන්න බැරිව ගියා. මම වෙනස් මිනිහෙක් වෙලා තිබ්බා.
අපිට සිද්ධ වෙන දේවල් විසින් අපිට විකල්ප තුනක් දෙනවා කියලා මගේ බෞද්ධ ගුරුවරයා මට කියලා දීලා තියෙනවා.
පළවෙනි විකල්පය තමයි වින්දිතයෙක් (victim) බවට පත් වීම.
දෙවෙනි විකල්පය තමයි නොමැරී ඉතිරි වුණ පුද්ගලයෙක් ( Survivor) බවට පත් වීම.
අවසාන විකල්පය තමයි නිර්මාණකරුවෙක් ( Creator) බවට පත්වීම.
මම තීරණය කරා නිර්මාණකරුවෙක් වෙන්න. මම මහණ වුණා. මහණ වෙලා විතරක් මදි බව මම දැනගෙන හිටියා. මම විවිධ තරුණ කණ්ඩායම් එක්ක වැඩ කරනවා. විවිධ භික්ෂු කණ්ඩායම් එක්ක වැඩ කරනවා. අපි එකතු වෙලා කෑම උයලා බඩගින්නෙ ඉන්න තරුණ අයට කන්න දෙනවා. හාමුදුරුවරු හැටියට අපි ඒක කරන්නෙ සතුටෙන්. මම ඉගෙන ගෙන තියෙනවා මාත් එක්ක වැඩ කරන අයව විශ්වාස කරන්න. මම එයාලට නිදහසේ එයාලගෙ හදවතට දැනෙන වැඩ අනිත් අය වෙනුවෙන් කරන්න කියලා මතක් කරනවා.
අපේ තුවාලවලින් හොඳ යමක් නිර්මාණය කරන්න පුළුවන්නම්, සාමයේ පොඩි කොටසක් නිර්මාණය කරන්න පුළුවන්නම්, කාට හරි කෑම වේලක් උයලා කන්න දෙන්න පුළුවන්නම්, මම ඇයි ඒක නොකර ඉන්නෙ? “
මේ සටහන ලියන්නෙ මේ හාමුදුරුවන්ව මට කිසිදාක අමතක නොවෙන්නයි. ” එකතු වෙලා, කන්න උයලා දීලා සාමය ගොඩනගන්න පුළුවන් බව” විශ්වාස කරන හාමුදුරු කෙනෙක්ව මට මුණගැහුණු බව මතකයේ තියාගන්නයි මේ සටහන ලියන්නෙ.
බලාපොරොත්තුව හැම තැනකම තියෙනවා. විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ හැඩවලින්. ලෝකයේ විවිධ තැන්වලින් මම දැන් ඒක දකිමින් ඉන්නවා
(මෙහි එන ඡායාරූපය උපුටාගැනීමක් පමණි.)
