අදානිට පරිසරය වනසන්න ලැයිසන් දෙනවාද? නැද්ද? පුරවැසි ඔබට අදහස් කියන්න පුළුවන්!

– මෙලනි ගුණතිලක

රටවල් 30ක් යාකරන Central Asian Flyway සංචාරක කුරැළු මාර්ගය විනාශ කරමින් ඉදිකරන අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ පරිසර වාර්තාවට අදහස් දක්වන්න අන්තිම දවස් දෙක අදයි හෙටයි.

ඔබේ අදහස් dg@cea.lk ඊමේල් ලිපින වලට යවලා gamage@cea.lk, nilmini@cea.lk ඊමේල් ලිපින කොපි කරන්න පුළුවන්.

මේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවට තියෙන ලොකුම විවේචනයක් වෙන්නේ අතිශය වැදගත් ජෛව විවිධත්වයක් තියෙන භූමියක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගත්තෙ ඇයි කියන එක සමිබන්ධයෙන් හේතු දැක්වීමක් කරලා නැති එක.

මේ ව්‍යාපෘතිය යෝජනා කරලා තියෙන භාමියට අයත් වෙන මධ්‍යම ආසියානු පියාසර මාර්ගය (Central Asian Flyway) මිලියන ගාණක් සංචාරක පක්ෂීන් බිත්තර දාන, රටවල් ගාණක පක්ෂීන් සංචාරය කරන කොරිඩෝවක්. ඊට අමතරව මන්නාරමේ වන්කාලෛ කුරැළු අභයභූමියත් එහි වැදගත්කමත් ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් පරිසරවේදීන් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.

සෘතු වෙනස් වීමත් එක්ක ශීත ඍතුවේදී කුරැල්ලෝ සමකාසන්න රටවල් වලට එන්න පාවිච්චි කරන එක වැදගත් ගමනාගමන මාර්ගයක් විදිහට මේ මධ්‍යම ආසියානු පියාසර මාර්ගය හඳුන්වනවා. සංචාරක පක්ෂීන් මේ ගමනේදී වාර්ෂික චක්‍රීය රටාවට අයිති breeding, moulting, staging and non-breeding කියන විවිධ අවස්ථාවන් පහු කරනවා. මේ ගමන් මාර්ගයේදී අන්දමන් දුපත්වලත්, බටහිර සහ ඊසාන දිසාවන්වල ඉඳනුත් සංචාරය කරන පක්ෂීන්ගේ අවසාන නවාතැන වෙන්නේ ශ්‍රී ලංකාව.

ලෝකයේ මිනිසා විසින් හඳුනාගෙන ඉන්න කුරැලු විශේෂ 11,000 අතරින් පහෙන් එකක් සංචාරක පක්ෂීන් බවයි කියවෙන්නෙ. මන්නාරම් කුරැළු අභයභූමිය ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේම ජෛව විවිධත්වයට කොයිතරම් වැදගත්ද කියන්න මේ තොරතුරු ප්‍රමාණවත්.

අදානි සුළං විදුලි ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජය එකඟ වෙන්නේ 2022 අවුරැද්දේ. ඒ සංකීර්ණතා විශාල ප්‍රමාණයක්, ජනතා විරෝධතා මැද. ඒ වෙද්දි විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියාව හිටපු ෆර්දිනැන්ඩෝ කෝප් කමිටුව ඉදිරියේ මේ අදානි ගනුදෙනුවට එකඟ වෙන්න ගෝටාට මෝදිගෙන් බලපෑම් තිබුණා කියලා පස්සේ ඒ කතාව වැරදිලා කියවුන එකක් බව කියලා තනතුරෙන් අස්වුනා. මේ වගේ තත්වයක් යටතේ තමයි තරඟකාරී මිළ ගණන් කැඳවීම ඉවත් කරන්න විදුලිබල පණතත් පාර්ලිමේන්තුව හරහා වෙනස් කලේ. මහාචාර්ය රොහාන් පෙතියාගොඩ පහුගිය දවසක කිවිවෙ මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව අදානි සමාගමෙන් සුළං විදුලි ඒකක මිලට ගන්නේ ලෝකයේ සාමාන්‍ය මිලට වඩා 200%කට වඩා වැඩි මිලකට. එතකොට මේකෙන් රටට පාරිසරික වශයෙන් විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් වෙන්නෙත් අවාසියක්. ඒ රටේ බලශක්ති ස්වෛරීභාවයට වෙන බලපෑමට අමතරව.

පුනර්ජනනීය විදුලිය බලශක්ති ප්‍රභවයක් වශයෙන් අනිවාර්යයෙන්ම වැදගත්. නමුත් කාබන් විමෝචනය අඩු කරන බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ ජෛව විවිධත්වයට විශාල විනාශයක් සිදුකරලා වත්, දූෂිත ආණ්ඩු, දූෂිත සමාගම් අතර හොර ගනුදෙනු වලින් වත් නෙවෙයි. ඒ වගේම රටේ බලශක්ති ස්වෛරීභාවය උගස් කරලා රටේ මර්මස්ථාන වල පාලනය විදේශයන් අතට පත්කරලාවත් නෙවෙයි.

මහපොළවට රිද්මයක් තියනවා. ස්වභාව දහමට රිද්මයක් තියනවා. රටා තියනවා. ඒ රිද්මයන්, රටාවන් ආර්ථික දියුණුව පස්සේ හැල්මේ දුවන අපිට අමතක වෙලා තිබුණට මේ මහ පොළොවේ සමබරතාවය පවතින්නේ ඒ රිද්මයන් එක්ක. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මේ සමබරතාවය අපි හිතනවට වඩා ලොකු බලපෑමක් කරනවා.

මේ දවස්දෙක තීරණාත්මකයි. ඔබේ වගකීම ඉටු කරන්න. දූෂිත පාලකයෙක් එලවන්න පාරට බැහැපු, මාස ගානක් අරගල කරපු අපිට ඊමේල් එකක් යවන්න විනාඩි දහයක් කැප කරන්න බැරි වෙන්න විදිහක් නෑ.

Photo from the Field Ornithology group of Sri Lanka posted by Tashi Delek Mikoyan Mars

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading