මෙලනි ගුණතිලක
මේ තොරතුරු හෙළිදරව් වෙන්නේ පහුගිය දවසක News first සාකච්ඡාවක් අතරෙදි ආචාර්ය ජයති ඝෝෂාල් මේ අධිභාර ගැන සඳහන් කරද්දි IMF ආයතනයේ මීට කලින් සේවය කරපු ශ්‍රී ලාංකිකයෙක් වුන ශාමිනී කුරේ මහත්මිය “ලංකාව අධිභාර ගෙවන්නේ නෑ” කියලා ප්‍රකාශ කරපු වටපිටාවක වීමත් විශේෂයක්.
IMF ආයතනයේ මේ අධිභාර නොහොත් අතිරේක ගාස්තු ක්‍රියාත්මක වෙන ආකාරය ආර්ථික විශ්ලේෂකයන් අතර දරැණු විවේචනයන්ට ලක්වෙනවා. ඒ දැඩි ද්‍රවශීලතා සීමාවන්ට මුහුණ දෙමින් සිටින රටවලට තවත් දඬුවම් පැමිණවීම, ණය පීඩාවන්ගේ අවදානම වැඩි කිරීම සහ සෞඛ්‍ය සේවා, දේශගුණික අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ වෙනත් සමාජ හා සංවර්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම සඳහා භාවිතා කළ හැකි සම්පත් මේ අධිභාර ගෙවීම වෙනුවෙන් පාවිච්චි කිරීමට සිදුවෙන නිසා.
මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ එක්සත් ජනපදයේ පිහිටා ඇති Center for Economic and Policy Research (CEPR) යනුවෙන් හඳුන්වන තින්ක් ටෑන්ක් එකක් විසින්.
IMF එකේ මේ අධිභාර මගින් ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්ක සපුරන බවට කිසිදු සාක්ෂියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයා නොමැති බවත්, IMF හි ප්‍රධාන තර්කය – එහි පූර්වාරක්ෂාකාරී ශේෂයන් සඳහා සහාය වීම සඳහා අධිභාර අවශ්‍ය බව – දැනට වලංගු නොවන බවත් ඔවුන් කියනවා.
පළමු වතාවට මේ තොරතුරු බෙදාහැරීම IMF ආයතනය විනිවිදභාවය පිළිබඳ ගත් එක් පියවරක් වශයෙන් හැඳින්වුනත් මේ හරහා ඉදිරියේදී ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් පැහැදිලි ගණනය කිරීම් පැහැදිලි වෙන්නේ නෑ. අධිභාර ගණනය කිරීම සඳහා IMF භාවිතා කරන මෙවලම වන “Query Tool” හරහා ගණනය කෙරෙන්නේ දැනට පවතින ණය ව්‍යාපෘති වෙනුවෙන් කෙරෙන අධිභාර ගෙවීම් පමණක් බවයි CEPR ආයතනය කියන්නේ. IMF එකඟතා හරහා පොරොන්දු වීය ඇති, තවමත් ලබා දී නොමැති ණය (අනාගත ණය) වලට ගෙවීමට නියමිත අධිභාර ගෙවීම් මේකට ඇතුළත් වෙන්නෙ නෑ. මේකෙන් අදහස් වෙන්නේ මේ IMF ආයතනය විසින් ප්‍රකාශ කර ඇති අධිභාර ගෙවීම් වලට වඩා ඉහළ අධිභාර ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වී ඇති රටවලට සිදුවෙන බව.
IMF විසින් අනුමත කරන ලද ඩොලර් බිලියන 3 ක විස්තීරණ අරමුදල් පහසුකමෙන් (EFF) ඩොලර් මිලියන 670 ක කොටස් දෙකක් ලබා දුන්නට පස්සේ ශ්‍රී ලංකාව අධිභාරවලට යටත් වෙනවා. මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවේ SDR (Special Drawing Right) කෝටාවෙන් සියයට 395 ක්. SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාජික රටවල්වල අනෙකුත් සංචිත වත්කම් වෙනුවෙන් 1969 අවුරැද්දෙදි නිර්මාණය කරපු පොළී සහිත ජාත්‍යන්තර සංචිත වත්කමක්.
IMF හි අධිභාර ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ඒ විවිධ තලයන් මත පදනම් වූ (level based) අධිභාර සහ කාලය මත පදනම් වූ අධිභාර (time based) වශයෙන්. රටක හිඟ ණය නියමිත සීමාව ඉක්මවන විට විවිධ තල මත පදනම් වූ අධිභාර පනවනු ලබන අතර, වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ගෙවීමට ඇති ණය මත කාලය මත පදනම් වූ අධිභාර අය කෙරෙනවා. එකඟ වූ ණය දීමේ පහසුකම අනුව මෙම පියවරයන් වෙනස් වෙනවා.
IMF ආයතනය අලුතෙන් ඉදිරිපත් කරපු මේ Query Tool එකට අනුව මේ වනතෙක් IMF ආයතනය ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම් වෙනුවෙන් මේ පෙබරවාරියේ ඉඳලා අවුරැද්ද අන්තිම වෙනකම් ගෙවන්න තියෙන Level based අධිභාර විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 1.06ක්.
“අවුරුද්දකට අඩු කාලයකදී අධිභාර ගෙවන රටවල් හයක ණයබරේ ශුද්ධ ඉහළයාම සහ සමස්ත අධිභාර ගෙවීම්වල සැලකිය යුතු වර්ධනය පෙන්නුම් කරන්නේ මේ හරහා ණයබර වැඩිවීම පමණක් සිද්ධ වෙන බවයි. මේ අසාධාරණ ගෙවීම් නැතුව IMF ආයතනයට පූර්වාරක්ෂක ශේෂයන් ඉලක්ක මට්ටමට වඩා හොඳින් පවත්වා ගන්න පුළුවන්” කියලයි CEPR ආයතනය වැඩි දුරටත් විස්තර කරන්නේ.
මෑත කාලයේදී බ්‍රසීලයේ ජනාධිපති සහ G20 සභාපති ලූලා ද සිල්වා ඇතුළු බොහෝ G77 රටවල ලෝක නායකයින්, UN නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින්, ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන සහ තවත් බොහෝ අය මේ අධිභාර ප්‍රතිපත්තිය අත්හිටුවන්න හෝ සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා IMF එකෙන් ඉල්ලලා තියනවා. ඒත් IMF අරමුදලේ ඇමරිකාවට ලබාදී ඇති ප්‍රමුඛ ස්ථානය, ඔවුන්ට ඇති නිෂේධ බලය, අරමුදල මේ දක්වා මෙම ඇමතුම්වලට අවනත නොවී ඉන්න හේතුවක් වෙන්න පුළුවන් බවත් කියවෙනවා.
වර්තමාන මූල්‍ය යටත්විජිතකරණයේදී “ණය” දුප්පත් නමුත් සම්පත් වටිනාකමින් ඉහළ රටවල් පාලනය කරන්න මෙවලමක් වශයෙන් පාවිච්චි වීම ගැන ජාත්‍යන්තර කතාබහට ලක්වෙන්නේ දැන් කාලෙක ඉඳන්. ණය කියන්නේ මුදල් ලබාගන්න අයගේ වගේම මුදල් ලබාදෙන්නාගේත් වගකීමක්. අසාධාරණ ගාස්තු, බදුබර වගේම කොන්දේසි හරහා රටේ සම්පත් පුද්ගලික අංශයට පවරන එක, බලවත් රටවල පාලනයට නතු කරගන්න එක, ජනතා සුබසිද්ධිය අහිමි කරන එක, පුද්ගලික අංශයට රටවල් වල ඒකාධිකාරයන් නිර්මාණය කරන්න මූල්‍ය යටත්විජිතකරණය උදව් කරනවා.
මේ වෙද්දි ලෝකයේ රටවල් 50කට වඩා ණය අර්බුදයේ වින්දිතයන්. මේ අතර ලෝකයේ දුප්පත් ජනගහණයෙන් 50%කට වඩා ඉන්නවා. සමහර රටවල් IMF සහයෝගය ප්‍රතික්ෂේප කරලා ආර්ථිකය ස්ථාවර කරගෙන තියෙනවා වගේම සැම්බියාව වගේ රටවල් වලට IMF සාකච්ඡා වලදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රතික්ෂේප කරලා රටේ ජනතාවට වාසි වෙන ආකාරයේ එකඟතා වලට එන්නත් හැකි වෙලා තියෙනවා. ඒත් ශ්‍රී ලංකා ආණ්ඩුව IMF එක කියන කියන අතට නැවෙන්නේ පාලකයෝ හොරාකාපු සල්ලි වල බර තනිකරම දුප්පත් ජනතාව මත පටවමින්. මේ එකඟතා, ගිවිසුම් ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ යහපතට නොවෙන බව වගේම IMF නැතුව බෑ කියලා ආර්ථික ස්ථායිතාව ගැන සම්මන්ත්‍රණ තියන ඇඩ්වොකාටා වගේ ආයතන කටයුතු කරන්නේ කාගෙ අරමුදල් වලින්ද, කාගෙ යහපත වෙනුවෙන්ද කියන එක දැන්වත් හොයලා බලන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා.
වැඩි විස්තර ![]()
https://www.cepr.net/international-monetary-fund-lifts…
https://www.dailymirror.lk/…/Sri-Lanka-s…/108-277587
