Saturday, December 2

නිදහස සඳහා ඇති මිනිස් ආශාව අවතක්සේරු කරන්න එපා – එක්සත් රාජධානියේ පලස්තීන තානාපති හසාම් සොම්ලොට්

සටහන – තරිඳු උඩුවරගෙදර

කිසිදු අපරාධයක් නොකළාට, ලෝකයේ ලොකුම එළිමහන් සිර කඳවුරක දරුවන්, වැඩිහිටියන් සහ කාන්තාවන් ඇතුළු මහා මිනිස් සමාජයක් සිර කර තැබුවොත්- නොකඩවා ඒ කඳවුර තුළ ඒ ජනතාවගේ ජලය, ආහාර ඇතුළු සියළු පහසුකම් සීමා කර තැබුවොත්- ඒ මදිවාට ඔවුන් සතු ඉඩම් ඇතුළු සියල්ල නිතිපතා කොල්ලකෑවොත්- ඒ ජනතාවට ලෝකයේ අනෙක් මිනිසුන් විඳින අයිතිවාසිකම් තබා ජීවිතය පවා අනතුරුදායක වුණොත්- එයට විරෝධය දැක්වීම සඳහා රටේත් ලෝකයේත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් නොතිබුණොත්- එබඳු ජනතාවක් අතරින් කෙබඳු විරෝධයන් පැනනගිනු ඇතිද? ඒ මිනිසුන් නිදහස වෙනුවෙන් කෙතරම් දරුණු සටන් කරනු ඇතිද? එය කෙතරම් තිරශ්චීන, අනනුකම්පිත, වෛරී ජනතා නැගිටීමක් වනු ඇතිද? ඔක්තෝබර් 06 වැනිදා පලස්තීනයේ හමාස් නම් වූ සන්නද්ධ සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඒ ප්‍රශ්නයට පිළිතුරක්. ඇත්ත-බොරුව-අර්ධ ඇත්ත එකිනෙකට මුහුකරමින් කාලයක් තිස්සේ ප්‍රචාරයන් දියත් කරමින් පලස්තීනුවන් සිර කර තැබූ ඉතිහාසයම එදා පුපුරා ගියා. දැන්, ඊශ්‍රායලය මෙතෙක් කරගෙන ආ අසාධාරණයක් තව තවත් දුෂ්ඨ සහ බිහිසුණු ලෙස ක්‍රියාත්මක කරන්නට ඒ හමාස් ප්‍රතිප්‍රහාරය හේතුවක් කරගෙන. එවැනි පසුබිමක, පලස්තීන ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාවත තුළ හැකි උපරිමය සිදු කරන පලස්තීන ජාතික ව්‍යාපාරය නියෝජනය කරන එක්සත් රාජධානියේ පලස්තීන තානාපති හසාම් සොම්ලොට් ඔක්තෝබර් 07 වැනිදා සීඑන්එන් ආයතනයේ ප්‍රකට මාධ්‍යවේදිනී ක්‍රිස්ටීන් අමාන්පවර් වෙත පහත සාකච්ඡාව ලබා දුන්නා.

මුල්ම සහ ප්‍රධානම දේ තමයි, ඔබ හමාස් සංවිධානය ඊශ්‍රායලයේදී සිවිල් වැසියන්ට කළ දේ හෙළා දකිනවාද? පුද්ගලයන් මරා දැම්මා. පුද්ගලයන් ප්‍රාණ ඇපයට තබා ගත්තා.

මුල්ම සහ ප්‍රධානම දේ තමයි, බටහිර ජනමාධ්‍යවල මෙම ෆ්‍රේම්වර්ක් එක තමයි අද අපව මේ තත්වයට ගෙන ආවේ.

මට කියන්න, ඔබ සපෝට් කරනවාද හමාස් සංවිධානයට?

අනිවාර්යයෙන්ම නැහැ.

එහෙනම් ඔබ හෙළා දකිනවා?

සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිවීම ඛේදවාචකයක්. හැම පැත්තේම. සිදුවෙන දේ අතිශයින්ම ඛේදජනකයි. දුක්බරයි. අප කතා කරන මොහොත වෙද්දී ජීවිත අහිමි වීම විශාලයි. සමස්ත ගෘහ ඒකක ඊශ්‍රායලය විසින් විනාශ කර දැම්මා. එය ඊශ්‍රායලය සිදු කරපු යුධ අපරාධයක්. වඩා ඛේදජනක වන්නේ, සමාන ලෙස ඛේදජනක වන්නේ, වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර සමාජය විසින් පෙනවූ අන්ධභාවය, බිහිර භාවය. මෙය සිද්ධවෙන්න නියමිත බව දිගින් දිගටම කළ අනතුරු හැඟවීම්වලට. ඊශ්‍රායලය දැන සිටියා මෙවැන්නක් සිදු වීමට නියමිත බව.

අපි, පලස්තීන ජාතික ව්‍යාපාරය හෙවත් පීඑල්ඕ වෙනත් මාවතක් අවුරුදු 30කට කලින් තෝරා ගත්තා. අපි ලෝකය අපෙන් ඉල්ලන දේට කැප වුණා. ඊශ්‍රායලය පිළිගැනීමට ලක් කිරීම, අවිහිංසාවාදයට කැප වීම, ජාත්‍යන්තර නිත්‍යානුකූලභාවය සහ යෝජනා සඳහා පෙළගැසීම. ඊශ්‍රායලයට කරන්න තිබුණේ එක දෙයක් පමණයි. අත්පත් කරගත් ප්‍රදේශවලින් ඉවත් වෙන්න. යටත් විජිත ජනපදකරණ ව්‍යාපෘතිය නවත්වන්න. එකම එක දවසකටවත් ඔවුන් එය කළේ නෑ. රාජ්‍යයන් දෙකක විසඳුම මරා දැම්මා.

ගෝලීය සමාජයෙන් අපේක්ෂා කළේ එකම එක දෙයක්. ලෝක නීතිය සමානව ක්‍රියාවට නංවන්න. යුක්‍රේනය ගැන, පලස්තීනය ගැන. ලෝකය එය කිරීමට අසමත් වුණා.

දැන්…

දැන් සෑම තනි දේශපාලන මාවතක්ම වසා දමලා. සියලු නීතිමය මාවත් අපට වසා දමලා. ජාත්‍යන්තර යුක්ති අධිකරණය වැනි. ඔබ දුටුවා ඇමෙරිකා එක්සත් ජනපදය කීවේ මොනවාද කියා.

මම අහන්නේ දැන් සිද්ධවෙන දේ ගැන. ඊශ්‍රායලය යුද්ධයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පලස්තීන මිලිටරි කණ්ඩායම්- මා හිතන්නේ නෑ ඔබේ  මිතුරන් කියා- හමාස් සංවිධානය පලස්තීන පාලනාධිකාරියට සහයෝගය දක්වන්නේ නෑ. දැන් යුද්ධයක් තියෙනවා. එය විශාල වශයෙන් වර්ධනය විය හැකියි.

ඔබ මේ සංවාදය කරන්නේ, ඊශ්‍රායලය අද දුටු දේ දැකපු නිසයි. මගේ ජනතාව මේක දිනපතා දකිනවා. හැම තනි දවසකම. පලස්තීන ජාතිකයන් ඉලක්ක කරනවා, මරා දානවා, සිර කරනවා, වට කරනවා, ආගමික ස්ථානවලට පහරදෙනවා, ඉස්ලාම් පමණක් නොව ක්‍රිස්තියානි ස්ථානවලට පවා, ක්‍රිස්තියානි භක්තිකයන්ට කෙළ ගසනවා, අපේ ජනතාව දකිනවා වර්ගභේදවාදය බලහත්කාරයෙන් පටවමින් ඉඩම් පැහැරගන්නා අයුරු. ඔවුන් බලාපොරොත්තු වෙනවා අහිමිවෙන අයිතිවාසිකම් තහවුරු කෙරෙන දේශපාලන විසඳුමක් සඳහා. ඒ ගැනයි අපි කතා කළ යුත්තේ.

ඔව්, මා දන්නවා. ඊශ්‍රායල් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයට පවා පලස්තීන ප්‍රශ්නය තවදුරටත් පවතින්නේ නැහැ. රාජ්‍යයන් දෙකක විසඳුම සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාද ගල් ගැහිලා. එතැනට යන්න කලින් මා ඔබෙන් අහනවා මේ සිදුවීම් පෙළ ආරම්භ වුණේ කොහොමද? විශේෂයෙන් මෙම දිනය- හරියට වසර 50කට කලින් ඔක්තෝබර් 06 වැනිදා ඉරාකය සහ සිරියාව ක්ෂණික ප්‍රහාරයක් ඊශ්‍රායලයට එරෙහිව දියත් කළා. ඔබ හිතන විදියට මෙය හේතුපාදක වූ සිදුවීම මොකක්ද? මෙය ඉහළ මට්ටමේ ප්‍රහාරයක්.

මම දන්නේ නෑ. මම ඇත්තටම ඇත්තටම දන්නේ නැහැ. මම දන්න දෙය තමයි, මෙම ප්‍රහාරය එල්ල වේවිද කියන ප්‍රශ්නය නෙවෙයි තිබුණේ. මේක කවදා එල්ලවේවිද කියන ප්‍රශ්නය. අපි කීවේ, මෙම අර්බුදය නිදැල්ලේ හරින්න එපා. අප කියන දේ නොතකා ඉන්න එපා. නිදහස සඳහා ඇති මිනිස් ආශාව අවතක්සේරු කරන්න එපා. ඊශ්‍රායලය සිදු කරමින් සිටි විනාශය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ ඊශ්‍රායලයේ ස්වෝත්තමවාදීන් සියල්ල උඩු යටිකුරු කරනු ඇතැයි සිතන්න එපා. මෙය සිදු වූ වෙලාව ගැන අවධානය යොමු කරලා වැඩක් නෑ. මෙය ප්‍රධාන මූලික දේ හැර හැමදේම කතා කරන්න යෑමේ ප්‍රතිඵලයක්. මූලික අවුල. හේතුව. මේක අවුරුදු 75ක් තිස්සේ කරමින් පවතිනවා. ඔබ දන්නවා ගාසා තීරයේ ජනගහනයෙන් සීයට 70ක් 1948 සිට අවතැන්වූවන් බව. 2007 සිට ගාසා තීරය සිර කරලා තියෙනවා. ලොව විශාලම එළිමහන් සිර කඳවුර. ඔබට කතා කරන්න ඕනෑ සිදුවීම්වලට හේතු වුණේ මේවා.

ඊශ්‍රායලය කියනු ඇති, මේක තමයි සිදු වන්නේ අපි ගාසා තීරයෙන් ඉවත් වුණොත් කියා. ඔබ කීවා වගේ එය සීල් කරලා (ඇතුලුවීමේ සහ පිටවීමේ මාර්ග අහුරලා) තියෙන්නේ. දැඩිව ආරක්ෂා කරමින් තියෙනවා. දැන් මොකද කරන්නේ, හිටපු ඇමෙරිකානු ඊශ්‍රායල තානාපති මයිකල් ඕරන් කීවා ඔබ පවා, ඒ කියන්නේ බටහිර ඉවුරේ සිටින පලස්තීන පාලනාධිකාරිය පවා සිටින්නේ තර්ජන මැද බව. ඔබේම ජනතාවගෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඊශ්‍රායලය බව.

විකාර. ඊශ්‍රායලය හැමවිටම කියන්නේ බොරු. ගාසා තීරයේ ජනතාව හැමවිටම මුහුණදෙන්නේ බටහිර ඉවුරේ ජනතාව, ජෙරුසෙලමේ ජනතාව සහ ඩයස්පෝරාවේ සරණාගතයන් මුහුණදෙන අත්දැකීම්වලටයි. අප අපේ වේදනාවෙන් එක්ව සිටිනවා. අපේ ඉලක්කයෙන් එකිනෙකාට බැඳී සිටිනවා. මෙම අත්පත් කරගැනීම අවසන් කිරීමේ ඉලක්කයෙන්. මෙම අනීතික බවෙන් මිදීමේ ඉලක්කය. අප මත පැටවූ ජනවාර්ගික ආධිපත්‍යයයෙන් මිදීමේ ඉලක්කය. අපේ දේශපාලන වෙනස්කම් තියෙන බව හැබෑවක්. අප මත පටවා ඇති ජනවාර්ගික ආධිපත්‍යයෙන් පිරි සිස්ටම් එක.  එහෙත්, අප වරද්දාගන්නේ නෑ. මෙය පලස්තීනුවන් සහ පලස්තීනුවන් අතර ප්‍රශ්නයක් නෙවෙයි. මෙය සෑම ජාත්‍යන්තර පාර්ශ්වයකම වරදක්. පාඩම් ඉගෙනගන්නවා වෙනුවට, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ ජාත්‍යන්තර පාර්ශ්වයන් කරන්නේ මෙතෙක් කල් කළ සියලු වැරදි තවත් තදින් කිරීම.

මොකක්ද කළ යුත්තේ? ඊශ්‍රායලය හමාස් සංවිධානයට ප්‍රතිචාර නොදක්වා සිටීමද?

පළවැනි දේ තමයි ජාත්‍යන්තර නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කිරීම. අපි මනුෂ්‍යයන් විදියට පහත් කොට්ඨාශයක් නෙවෙයි. මනුෂ්‍යත්වය අතින් අපව අඩු මට්ටමක තියන්න එපා. සියලු රාජ්‍යයන්ට අපිත් සමානයි. අවුරුදු 75ක් තිස්සේ, අවුරුදු 75ක් තිස්සේ මර්දනය සහ තොග ගාණට නස්පැත්ති සිදු වුණා. ඔබ දුටුවා ගාසා තීරයේ වුණ දේ. හෙට වෙනකල් ඉන්න. දහස් ගණන් ජීවිත සහ ජීවනෝපායන් නැති වෙන හැටි බලන්න. ඇති! දැන් ඇති. මිනිසුන්ට උපතෙන් ලැබෙන ස්වයං නිර්ණය අයිතිය, ඉඩම්වලට ගමන් කරන්න තියෙන අයිතිය, තමන්ගේම රාජ්‍යයක් බිහි කරගැනීම සඳහා ඔවුන්ට තියෙන අයිතිය පිළිගන්න. මේක වටේට අතුරු පාරවල් හොයන එක නවත්වන්න. එහෙම අතුරු පාරවල් නෑ. සාමය ඇති කරගත හැක්කේ පලස්තීනුවන් වන අප සමගයි. වෙන අය එක්ක නෙවෙයි. ඊශ්‍රායල අපේ ඉඩම් අත්පත් කරගෙනයි ඉන්නේ. ඊශ්‍රායලය මර්දනය කරන්නේ අපව. වෙන කාවවත් නෙවෙයි. ජාත්‍යන්තර සමාජය නිර්භීත ලෙස ජාත්‍යන්තර නීතිය සමානව යොදාගත යුතුයි. ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටියදී, අඩු තරමේ තමන්ගේ පාලනය යටතේ සිටින ජනතාව ආරක්ෂා කරගත යුතුයි නේද? මෙය ජාත්‍යන්තර නීතිය. ඊශ්‍රායලයට කිසිදු සිවිල් වැසියෙකු හිංසාවට ලක් වීමට ඉඩ නොදීමේ වගකීම තියෙනවා. අවුරුදු 75ක් තිස්සේ සිද්ධවෙන්නේ ඒකේ අනෙක් පැත්ත.

ඔබ හිතන්නේ නැද්ද? පලස්තීන මිලිටරි කණ්ඩායම්- ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට පහර දෙනකොට ඒ කියන අදහසම අර්බුදයට යන බව?

නැහැ!

ඔබ කොහොමද මේකෙදී සදාචාර වශයෙන් නිවැරදි පැත්තේ තමන්ව තබා ගන්නේ?

සදාචාර වශයෙන් නිවැරදි තැන තමන්ව තබාගත හැක්කේ ජාත්‍යන්තර නීතියටම අනුගත වීමෙනුයි. ජාත්‍යන්තර යුක්ති ක්‍රියාදාමයට නැවත යෑමෙනුයි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ තීන්දු ක්‍රියාවට නැංවීමෙනුයි. ජාත්‍යන්තර විනිසුරුවරුන්ට අත්පත් කරගත් අත්පත් කරගත් පලස්තීන කලාපයට එන්න ඉඩ දෙන්න. තීන්දු ලබා දෙන්න. අපි තීන්දුව බාර ගන්නවා. අපි කුමන හෝ වරදක් කර ඇති නම්, අපරාධයක් කර ඇති නම් අපි බාර ගන්නවා. ඒත් හැමෝම දන්නවා, සියලු අන්තර්ජාතික නීති සහ අපගේ පොදු මනුෂ්‍යත්වය උල්ලංඝනය කරමින් සිටින්නේ ඊශ්‍රායලය බව.

මෙම අර්බුදය විසඳීම සඳහා අතරමැදි පාර්ශ්වයක් විය හැකි කවුරුන් හෝ ඉන්නවාද?

අර්බුදය විසඳීම සඳහා ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම නුසුදුසු බව ඔප්පු කරලා තියෙනවා. වොෂිංටන්වලින් එන අදහස පැහැදිලිව අපට පෙනෙනවා. ඔවුන් කියනවා, ඊශ්‍රායලයේ අර්බුදය එරට දේශපාලන අර්බුදයක්- ඇමෙරිකාවට විදේශීය අර්බුදයක් බව. ඔවුන් මෙම අර්බුදය එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරනවා. විසඳුම ලෝකය. ජාත්‍යන්තර සමාජය. ඇමෙරිකාව මේසය මත ඉඳගන්න ඕනෑ. ඒත්- එතැන යුරෝපය ඉන්න ඕනෑ, ලෝකයේ අනෙක් රටවල් ඉන්න ඕනෑ, චීනය ඉන්න ඕනෑ. ලොව අනෙක් සියලු අර්බුදවලදී වගේම මෙහිදීත් එය සිදු විය යුතුයි.

Author

2 Comments

  • Rasika De Silva

    For years Palastinians suffered the injustices in their own land, no country spared a word. Suddenly when Israelians suffer an attack (which was provokated by themselves for years) the whole world rise up! For years Ukrainian government harrased the people of the Russian border, no television spoke about it, but when Russian reacts, here comes the whole world to talk about the poor civilians of Ukraine…what a world!

  • Anonymous

    The population density is quite high, true. But they are an intelligent people they must have given up terrorism and with the help of their Arab brothers could have made that land a Singapore. An economically strong nation how small it is does not have to fear of other nations as long as they are neutral.

Comments are closed.

%d bloggers like this: