Wednesday, October 4

ශ්‍රී ලංකාව දරුණු දේශගුණ අවදානම් අතරින් ලෝකයේ 30 වැනි තැන! වසරකට ඩොලර් මිලියන 380ක් දේශගුණ අනතුරුවලින් පාඩුයි! – ලෝක බැංකුව

දේශගුණ විපත් හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 380ක පාඩුවක් සිදු වන බව ආපදා අවම කිරීම සහ ප්‍රතිසාධනය සඳහා වූ ගෝලීය පහසුකම හෙවත් Global Facility for Disaster Reduction and Recovery (GFDRR) සඳහන් කර තිබේ.

මෙය ලෝක බැංකුව යටතේ ඍජුව ක්‍රියාත්මක වන ආයතනයකි. මෙම ආයතනය විසින් පැවැත්වූ වැඩමුළුවකදී උක්තර කරුණු කියා තිබේ.

මේ වන විට එම පහසුකම යටතේ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2කට වැඩි වටිනාකමකින් යුත් සිය ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. වසර කිහිපයක් තිස්සේ දිවෙන මෙම ව්‍යාපෘති අතර පොදු ප්‍රවාහනයට අදාලව, ජල ආරක්ෂනය සහ නියඟවලින් ආරක්ෂා වීම, වැව් බැමිවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඇතුළු කරුණු වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

ඊට අමතරව 2019 වසරේදී ආන්තික කාලගුණ තත්වයන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව 30 වැනි ස්ථානයේ පවතින බවද එහිදී පරිසර අමාත්‍යවරයා කියා ඇත. 2016 ගංවතුර අවස්ථාවේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 660ක් සහ 2017 ගංවතුරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 478ක් අහිමි වූ බව ප්‍රකාශ කර තිබේ.

ගෝලීය දේශගුණ අර්බුදය නිසා, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක් විශාල අනතුරුවලට මුහුණදෙමින් පවතී. පාකිස්ථානය වැනි රටවල් ඉන් ප්‍රමුඛය. මේ වන විට දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව තුළ එවැනි රටවල් හඳුනාගෙන, ජාත්‍යන්තර දේශගුණ අරමුදලක් පිහිටුවා එවැනි රටවල්වලට ආධාර කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

විශේෂයෙන්ම ගංවතුර සහ නියඟ තත්වයන්ට බලපාන රටවල්වලට අනතුරු කල් තියා හඳුනාගැනීම, සමාජ ආරක්ෂණය, අනතුරුවලට අදාල සෞඛ්‍ය ආරක්ෂණය, රක්ෂණ ක්‍රම, සහනාධාර වැඩසටහන්, උවදුරුවලින් පසු නැවත ඉදිකිරීම්, නැවත පදිංචි කිරීම් මෙන්ම බිඳවැටුණු පරිසර පද්ධති නැවත සකස් කිරීම් සඳහා මුදල්මය වශයෙන් සහයෝගය අවශ්‍ය වේ.

ගංවතුරට අමතරව ශ්‍රී ලංකාව දීර්ඝ නියඟ කාලයකට 2017-2019 කාලසීමාවේදී මුහුණදුන්නේය.

ඊට අමතරව මෑත දක්වාම නායයෑමේ අවදානමට ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටී. සති කිහිපයකට පෙර හැටන් ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් වූ අතර, රත්නපුර, නුවරඑළිය ඇතුලු ප්‍රදේශ ගණනාවක නායයෑම් අනතුරු හැඟවීම් නිකුත් කර තිබුණි. මෑත වසර කිහිපය තුළ මීරියබැද්ද සහ අරණායක දැවැන්ත නායයෑමේ සිදුවීම් දෙකක් වාර්තා විය.

Author

%d bloggers like this: