Wednesday, October 4

නතාෂාට ඇප ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ලබා දුන් ඇප නියෝගය

හාස්‍ය නිර්මාණ ශිල්පිනී නතාෂා එදිරිසූරිය පසුගිය සතියේදී ඇප ලබා දුන්නේ ඇයට ‘මානසික රෝගයක් තිබෙන නිසා බව‘ සහ ඇය ‘සමාව ඉල්ලූ නිසා‘ බව ඇතැම් වැරදි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ.

එහෙත්, සැබෑ ලෙසම ඇය කිසිදු අවස්ථාවක සමාව ඉල්ලා නොමැති බව අප කළ සොයා බැලීම්වලදී ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එමෙන් නතාෂා සම්බන්ධයෙන් විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් බව නීතිඥවරුන් විග්‍රහ කර ඇත. පහත පීඩීඑෆ් ආකෘතියෙන් දැක්වෙන්නේ ඇයට ඇප ලබා දීමට හේතු වූ එම නඩු තීන්දුවයි.

තීන්දුවෙන් උපුටාගත් කොටස් –

‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා ඇප ලබාදීමට විරුද්ධ නොවන බව පවසා සිටියද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 4 වැනි වගන්තිය අනුව ඇප නියම කළ හැක්කේ විශේෂ කරුණු තිබේ නම් පමණි.

ඇප ලබා දීමට නීතිපතිවරයා වෙනුවෙන් විරුද්ධ නොවීමම ඇප දීමට හේතුවක් නොවේ. එහිදී අධිකරණය සුවිශේෂී කරුණු ඇති බවට අධිකරණමය වශයෙන් සෑහීමට පත්විය යුතුමය.2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතෙහි 3(1) වගන්තියෙහි මෙසේ සඳහන් වේ.

‘කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදීකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතුය.‘

විශ්ෂයෙන්ම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත වර්ෂ 2007.10.10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට විදේශ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන ලද රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා මෙම පනත ගෙන ඒමේ පරමාර්ථය පවසා ඇත. ඒ අනුව 1980 දී ශ්‍රී ලංකා රජය රජයක් වශයෙන් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතට අත්සන් තබා තිබුණද අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන නොමැති නමුත් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ ඇතැම් අයිතිවාසිකම් ලංකාව තුළ නීතිමය වශයෙන් බලධාරී කිරීම එහි පරමාර්ථය බවට සඳහන් කර ඇත.

ඇප පනතේ 3 වන වගන්තිය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 20 වන වගන්තියේ දෙවන උප වගන්තියට සමාන වේ. මෙය අර්ථ දැක්විය යුත්තේ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියෙහි 19 වන වගන්තිය හා සමග බව පිළිගත් කරුණකි. එනම් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තුළ මෙය අර්ථ දැක්විය යුතු බවට නීතිය පිළිගෙන ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලැස්මක් 2020 සැප්තැම්බර් මස පිළියෙල කර ඇති අතර එහිදී වෛරී ප්‍රකාශන කොටස් තුනක් වශයෙන් හඳුනාගෙන ඇත.

එනම්,

01. සමූල ඝාතනයක් සිදුවන ආකාරයේ බරපතල ප්‍රචාරයන් කරනු ලබන වෛරී ප්‍රකාශන.

02. මධ්‍යම මට්ටමේ වෛරී ප්‍රකාශන

03. ඉතා අඩු මට්ටමේ ප්‍රකාශවිශේෂයෙන්ම යම්කිසි ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක්ද නැද්ද යන්න තීරණය කිරීමේදී එකී ප්‍රකාශය මගින් ඉලක්කගත කණ්ඩායමක් වෙනස්කමකට ලක් කිරීම සඳහා උසිගැන්වීමක් තිබීමට නම් වෛරී ප්‍රකාශය කරන්නා, ප්‍රේක්ෂකාගාරය සහ ඉලක්කගත කණ්ඩායම් තිබිය යුතු බව මා ඉහතින් විස්තර කරන ලද වෛරී ප්‍රකාශන පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපක්‍රම සහ ක්‍රියාකාරී සැලැස්ම 2020 සැප්තැම්බර් මස ප්‍රකාශයෙහි සඳහන් කර ඇත.

ඒ අනුව වෛරී ප්‍රකාශයට සම්බන්ධ වූ ප්‍රේක්ෂකයන් විසින් ඉලක්කගත කණ්ඩායම විෂයෙහි සතුරුකමට සහ ප්‍රචණ්ඩත්වයට පත් කිරීමේ ක්ෂණික තර්ජනයක් තිබිය යුතුය.

නමුත් මෙම ඇප අයදුම්පතට අදාල සැකකාරිය 2023.04.01 දින කරන ලද ප්‍රකාශය කළේ යැයි කියනු ලබන වැඩසටහනට සහභාගී වූ ප්‍රේක්ෂකයන් විසින් එවැනි ප්‍රචණ්ඩත්වයක යෙදුණු බවට කිසිදු සාක්ෂියක් තොරතුරු වාර්තාවේ සඳහන් නොවේ.

අනෙක් අතට යම්කිසි ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් 2012 ඔක්තෝබර් මාසයේදී මොරොක්කෝවේ රබාට් නගරයේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවැත්වූ සැසිවාරයේදී හදුන්වා දී ඇති රබාට් ක්‍රියාකාරී සැලැස්ම වැදගත් වේ. එහිදී යම්කිසි ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක්ද නැද්ද යන්න හඳුනාගැනීම සඳහා නිර්ණායකයන් 6ක් සඳහන් කර ඇත.

01. සන්දර්භයඑහිදී මෙම ප්‍රශ්නගත ප්‍රකාශය කරනු ලබන අවස්ථාව වන විට පවත්නා වූ ගැටුමක් එනම්, ඉලක්කගත කණ්ඩායම අරභයා ගැටුමක් නිර්මාණය වී තිබේද?එකී ඉලක්කගත කණ්ඩායම නීතිය විසින් වෙනම පිළිගෙන තිබේද?ජාත්‍යන්තර මානව හිමිකම් සිද්ධාන්තයන්ට අනුව වෙනස් කොට දැක්වීම වැළැක්වීමේ නීති එම රට තුළ ක්‍රියාත්මක වන්නේද?මාධ්‍ය එකී ඉලක්කගත කණ්ඩායම අරභයා කෙසේ හැසිරී ඇත්ද?ස්වාධීන මාධ්‍යයක් තිබේද? මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේද?එකී මැතිවරණය තුළ මෙම ඉලක්කගත කණ්ඩායම කෙසේ කටයුතු කරන්නේද? යන කරුණුවලට ලැබෙන පිළිතුරු අනුව මෙම සන්දර්භය සලකා බැලිය යුතු බවට සඳහන් කර ඇත.

02. කථානායකා එනම්, වෛරී ප්‍රකාශය කළේයැයි කියනු ලබන තැනැත්තාට සමාජය තුළ ඇති පෙළඹවීමේ බලය ඔහු ජාතික නායකයෙක්ද, දේශපාලඥයෙක්ද, රජයේ නිලධාරියෙක්ද, ආගමික නායකයෙක්ද, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්ද, සමාජය තුළ ඔහුට පවතින කීර්ති නාමය හා එකී කථානායකා සහ ඉලක්කගත කණ්ඩායම අතර පවතින කීර්ති නාමය හා එකී කථානායකයා සහ ඉලක්කගත කණ්ඩායම අතර පවතින සබඳතාවය.

03. කථානායකයා තුළ තිබූ චේතනාව

04. එකී අන්තර්ගතය සහ ඊට අදාල රාමුව

05. එම ප්‍රකාශයේ විශාලත්වය සහ ප්‍රමාණය

06. එකී ප්‍රකාශය තුළ ඉලක්කගත කණ්ඩායමක් අරඹයා යම් උස්ගැන්වීමේ ක්‍රියාවලියක් තිබුණේද?ඒ අනුව මෙම නතාෂා එදිරිසූරිය නමැති මෙම ඇප අයදුමට සම්බන්ධ සැකකාරිය සලකා බලන විට මෙම ප්‍රකාශය කළේ යැයි කියනු ලබන කාල සීමාව තුළ බෞද්ධයන් අරභයා ගැටුම්කාරී තත්වයක් සමාජය තුළ තිබුණු බවට මුල් තොරතුරු වාර්තාවේ සඳහන් කර නැත. එසේම කථානායිකාවට සමාජය තුළ පිළිගැනීමක් තිබුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ප්‍රකාශය ඇතුළත් මෝඩාභිමානය නම් වැඩසටහන යූටියුබ් නාලිකාවට ඇතුළත් කරන තුරු එවැන්නියක සමාජය තුළ සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනුමක් තිබුණු බවට මෙම බී වාර්තාවෙන් පැහැදිලි නොවේ.

එසේ ඉලක්කගත කණ්ඩායම් සලකා බලන විට මෙම පෙත්සම්කාරිය වෙනුවෙන් සීඩී පටයක් ඉදිරිපත් කර තිබූ අතර එහි අධිකරණය නිරීක්ෂණය කළේ එම වැඩසටහනට සහභාගී වූ ප්‍රේක්ෂකයන් හුදෙක් සිනහ වීම සඳහා හෝ විනෝදය සඳහා සහභාගී වූ පුද්ගලයන් පමණක් බවයි. එම 2023.04.01 දින සිදු වූයේ යැයි කියනු ලබන මෙම වැඩසටහනින් පසු එහි ප්‍රේක්ෂකයන් ඉලක්කගත කණ්ඩායම අරභයා එසේ නොමැති නම් ඉලක්කගත කණ්ඩායම වන බෞද්ධයන්ට එරෙහිව කිසියම් හෝ උස්ගැන්වීමක් එනම්, සතුරුකම් කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වය වැපිරීමක් සිදු කර ඇති බවට කිසිදු සාක්ෂියක් බී වාර්තාවෙන් තහවුරු නොවේ.

ඇතැම් පුද්ගලයන් කරනු ලබන ප්‍රකාශයක් මගින් යම් යම් සමාජ කොටස්වලට, ජාතීන්ට ආගමික කණ්ඩායම්වලට අවවරප්‍රසාදිත කණ්ඩායම්වලට හිත් රිදවීම් සිදුවිය හැකිය. එසේම යම් යම් අපහාසාත්මක කරුණුද සිදුවිය හැකිය. නමුත් එවැනි සිත් රිදවීමක් සිදු වූ පමණින්ම හෝ අපහාසයක් සිදු වූ පමණින්ම හා ප්‍රකාශකයා හෝ ප්‍රකාශිකාව නොසැලකිලිමත් ලෙස වගකීම් විරහිතව ප්‍රකාශයක් කළ පමණින් එය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනනතේ 3(1) වගන්තියට අදාල නොවන බවට අන්තර්ජාතික නීතිය පිළිගෙන ඇති තත්වයකි.

ඒ අනුව මෙම නතාෂා එදිරිසූරිය නමැති සැකකාරියවැඩසටහනේදී කළ සමස්ථ ප්‍රකාශය සලකා බැලීමේදී එය කිසිසේත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම් කිරීමේ අරමුණින් එහි ප්‍රේක්ෂකයන් උසිගැන්වීමේ ක්‍රියාවලියක යෙදුණු බවට පෙනී නොයයි. එබැවින් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන සම්මුති පනතේ 3(1) වගන්තිය මෙම සැකකාරිය කෙරෙහි යොදා ගත්තේ කෙසේද යන්න බරපතල ගැටළුවකි.එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) ආ) සහ 291 (අ) වගන්ති මෙසේ සඳහන් වේ.

291 (අ) යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතහොත් හෝ ශබ්දයක් කළහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කළහොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය.

291 (ආ) මහරජතුමණන්ගේ යටත් වැසියන් පංතියක ආගමික හැඟීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණ වලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.

මෙම 291 අ වගන්තියට සමාන ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 295(අ) වගන්තිය අර්ථ දක්වමින් ගවුර් සිය පීනල් ලෝ ඔෆ් ඉන්දියා නමැති ග්‍රන්ථයේ 11 වන සංස්කරණයෙහි 3 වන වෙළුමේ 2335 පිටුවේ Delibarate and Malicious Intention යන්න සම්බන්ධයෙන් කර ඇති පහත සටහන වැදගත් වේ.’An act may be deliberate without being malicious and it may be malicious without being deliberate, since it may be reckless without being intentional. What is required to constitute the offence is the presence of both.’

ඒ අනුව යම් ජාතියකට හෝ ආගමකට හෝ කණ්ඩායමකට සිත් රිදවන ප්‍රකාශයක් කළ පමණින් අයිසීසීපීආර් පනතේ 3 වන වගන්තිය යටතේ පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහය් 291 (අ) වගන්තිය යටතේද කටයුතු කිරීමට හැකියාවක් නැත.

විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් හෝ වෙනත් ආගමික නායකයෙක් හෝ සමාජයේ පෙළඹවීමේ බලයක් තිබෙන පුද්ගලයෙකු පැමිණිල්ලක් කළ පමණින්ම ඒ මත පිහිටා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම විමර්ශකයෙකුගේ කාරයභාරය නොවේ. විශේෂයෙන්ම අපරාධ නඩු විධාන පනතේ 116 වන වගන්තිය යටතේ විමර්ශනයක් කරන ලද නිලධරයෙකුට ඉදිරිපත් කරන තොරතුර පිළිගත හැකි කරුණු මත පදනම්ව තිබේ නම් හා ඔහු සංඥය වරදක් කර තිබේ නම් වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත හැකිය.

මෙම නඩුවේ කරුණු අනුව විමර්ශකයෙකුගේ කාර්යභාරය වන්නේ අප රටේ අන්තර්ජාතික වගවීම හා බැඳියාවන් අනුව සත්‍ය වශයෙන්ම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3 වන වගන්තිය යටතේ වෛරී ප්‍රකාශයක් සිදු කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අන්තර්ජාතික අර්ථ නිරූපණයන්ද සලකා බලා කටයුතු කිරීම විනා පුද්ගලයෙකු පැමිණිල්ලක් ලද පමණින්ම අත්අඩංගුවට ගැනීම නොවේ.විශේෂයෙන්ම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රෝහිත බෝගොල්ලාගම ඇමතිවරයා කර ඇති ප්‍රකාශයෙන් අප රට ජාත්‍යන්තර වශයෙන් වන වගකීම පිළිබඳ සඳහන් කර ඇත.

ඒ අනුව මෙම පනතේ ක්‍රියාවේ යෙදවීමේදීද නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ යුක්තිය පසිඳලන ආයතනවලට එකී අන්තර්ජාතික වගවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ, නොඑසේ නම් ව්‍යවස්ථාදායකයේ චේතනාව මුදුන්පත් වන ආකාරයට කටයුතු කිරීමේ වගකීමක් ඇත. එසේම අධිකරණයකද වගකීම වන්නේ විමර්ශන නිලධාරීන් එනම් පොලිස් නිලධාරීන් සංඥය වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරමේදී එම සැකකරු හෝ සැකකාරියට ඉදිරිත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණමය මනසකින් කටයුතු කර ඉදිරි පියවර ගැනීම විනා විමර්ශකයන් ඉදිරිපත් කළ පමණින්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොවන බවටද සටහන් කළ යුතුය.

මේ අනුව අද දින උගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයාද තම කරුණු දැක්වීමේදී පාදක කරගත්තේ සැකකාරිය විසින් කරන ලද ප්‍රකාශය බවට පෙත්සම්කාරිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශයම වේ.

එම ප්‍රකාශය සමස්තයක් ලෙස ගත් කළ එය කිසිදු ලෙසකට බෞද්ධ සමාජය ඉලක්ක කරගත් වෛරී ප්‍රකාශයක් ලෙසට බැලූ බැල්මට පෙනී නොයයි.එබැවින් මෙම කරුණම මෙම සැකකාරිය ඇප මත මුදා හැීමට තරම් සුවිශේෂී කරුණක් බවට මම තීරණය කරමි.

එබැවින් මෙම ඇප අයදුම්පතට අදාලව මෙම සැකකාරිය විසින් කළේයැයි කියනු ලබන ප්‍රකාශ බැලූ බැල්මටම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වෛරී ප්‍රකාශයක් ලෙස බැලූ බැල්මට පෙනී නොයන හෙයින් මෙම සැකකාරිය මේ වනතෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමද සුදුසු තත්වයක් නොවන බවට මම තීරණය කරමි.’

Author

%d bloggers like this: