ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක, පැජන්ට් පුහුණුකාරිනියක සහ අධ්‍යක්ෂවරියක වූ චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ හෙවත් චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඇය 46 හැවිරිදි වියේ පසුවූවාය. ඇගේ අභාවයට හේතුව හෘදයාබාධයක් බව වාර්තා වේ. ඇගේ අවසන් කටයුතු පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
චූලාගේ අභාවය වාර්තා වන්නේ ඇය ජාතික අධ්‍යක්ෂවරිය ලෙස මෙහෙයවූ Universal Woman Sri Lanka 2026 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (30) රාත්‍රියේ කොළඹ Waters Edgeහිදී නිමාවට පත්වීමෙන් පසුවය. ඇය එම වැඩසටහනද සහභාගී වී තිබුණි.
ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වූ එම තරගාවලිය, සාම්ප්‍රදායික රූ රැජින තරගයකට සීමා නොවී කාන්තාවන්ගේ නායකත්වය, ආත්මවිශ්වාසය, වෘත්තීයභාවය සහ සමාජ බලපෑම අගයන වේදිකාවක් ලෙස සංවිධානය කළ බව චූලා සහ සංවිධායකයෝ ප්‍රකාශ කර තිබුණි. එහි ජයග්‍රාහිකාව කාම්බෝජයේ පැවැත්වෙන Universal Woman ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.
නිරූපණ හා රංගන ශිල්පී සුරාජ් මාපා, සේනක ද සිල්වා, ඇන්ජලා සෙනෙවිරත්න, කැරොලයින් ජූරි සහ රොසෙල් ප්ලන්කට් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටියහ.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරාජ් මාපා මීට පෙර පවසා තිබුණේ, මෑතකදී මෙරට පැජන්ට් ක්ෂේත්‍රය වටා ඇතිවූ සිදුවීම් සැලකිල්ලට ගෙන චූලා සමඟ මෙම වැඩසටහනට එක්වීමට තීරණය කළ බවය. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගන්නා තැනැත්තිය ක්ෂේත්‍රයේ සැබෑ වෘත්තිකයෙකු විය යුතු බවත්, කිරුළ පිරිනැමීමෙන් පසුවද ඇයට පුහුණුව, මඟපෙන්වීම සහ ක්ෂේත්‍රයේ ඉදිරියට යා හැකි මාර්ගයක් සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කර තිබුණි.
“කිරුළ දිනන එක විතරක් ප්‍රමාණවත් නැහැ. සුදුසු කෙනාට සුදුසු තැන ලැබෙන්න ඕනේ. කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවී, මුල ඉඳන්ම මේක Professional විදිහට හදන්න ඕනේ,” යනුවෙන් චූලා සමඟ එක්වීමට හේතුව පැහැදිලි කරමින් සුරාජ් පවසා තිබුණි.
චූලා එම වැඩසටහනේදී සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙසේ කියා තිබුණාය.
‘මම හිතන්නේ විනිවිදභාවයකින් තියෙන පැජන්ට් එකක් කරන්නත්, රිසාල්ට්ස්, ස්කෝර් එක ලයිව්ම පෙන්නන්නත් මට ගොඩක් කාලෙක ඉඳන් උවමනාවක් තිබ්බා. ඉතින් මට මගේ එක ගෝල් එකක් මං කම්ප්ලීට් කරා කියලා හිතනවා පැජන්ට් ඉන්ඩස්ට්‍රි එකේ.
මම හිතන්නේ First time in the world තමයි මම හිතන්නේ තුන්දෙනාම ලෝයර්ස්ලා (Lawyers). මම හිතන්නේ හරිම නැණවත්, ගුණවත් කාන්තාවෝ තුන්දෙනෙක්. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා නාමය ඒගොල්ලෝ ජාත්‍යන්තර තලයට ඉහළටම අරන් යයි කියලා හිතුනා.
මම හිතන්නේ as a woman, මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් කියන්නේ හරි උගත් බුද්ධිමත් කාන්තාවන්. ඉතින් ඒ කාන්තාවන් ඉදිරියට අරන් යන්න ඕනේ, ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකේ අපි පෙන්නන්න ඕනේ. ඉතින් Universal Woman first time ඒගොල්ලෝ ෆ්‍රැන්චයිස් එක ලංකාවට දුන්නේ. ඉතින් මම හිතුවා ඒ ප්ලැට්ෆෝම් එක මං උපරිමයෙන්ම යූස් කරනවා කියලා.
පැජන්ට්‍රි මම හිතන්නේ හොඳ පැජන්ට්ස් තියෙනවා තෝරා බේරාගෙන යන්න. මේන්ම ඇවිල්ලා බලන්න විනිශ්චය මණ්ඩලය කවුද කියලා, ප්‍රීවියස් විනර්ස්ලා (Previous winners) ගැන බලන්න. මම හිතන්නේ මේවා ප්ලැට්ෆෝම්ස් වලින් ඕගොල්ලන්ට ඉදිරියට යන්න පුළුවන්, අපේ ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා කීර්තියක් ගේන්න පුළුවන් කියලා.‘
කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චූලා නිරූපණ ක්ෂේත්‍රයට පිවිස තිබුණේ වයස අවුරුදු 16දීය. ඇගේ පළමු වෘත්තීය කටයුත්ත bridal show එකක් සඳහා කළ ඡායාරූපගත කිරීමක් බව ඇය මෑත සම්මුඛ සාකච්ඡාවකදී සිහිපත් කර තිබුණි.
ළමා වියේදී වසර දහයක් පමණ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතවූ ඇයට, විලාසිතා සහ ඡායාරූපකරණය පිළිබඳ මුල් හුරුපුරුද්ද ලැබී තිබුණේ පවුලෙනි. ඇගේ පියා විලාසිතා ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සිනමා නිර්මාණවල නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙසද කටයුතු කර තිබුණි.
දශක දෙකහමාරකට අධික කාලයක් මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කළ චූලා, දේශීය හා ජාත්‍යන්තර නිර්මාණකරුවන් සමඟ වැඩ කළ ප්‍රමුඛ runway නිරූපිකාවක ලෙස සැලකිණි. 2006දී ටැන්සානියාවේ පැවැති Model of the World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය “Best Press International” සම්මානයද දිනාගෙන තිබුණි.
පසුව Chulpadmendra Catwalk Studio නමින් තමන්ගේම නිරූපණ සහ පැජන්ට් පුහුණු ආයතනයක් ආරම්භ කළ ඇය, නව පරපුරේ නිරූපිකාවන් සහ රූ රැජින තරගකාරියන් රැසක් පුහුණු කළාය. 2019දී ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගත් කැරොලයින් ජූරිගේ පුද්ගලික පුහුණුකාරිනිය ලෙසද චූලා කටයුතු කර තිබුණි. පැජන්ට් තරගවල විනිසුරුවරියක හා උපදේශිකාවක ලෙසද ඇය මෑත වසරවල ක්‍රියාකාරීව සිටියාය.
චූලා නිරූපණය සරලව “ලස්සන පෙනීම” ලෙස නොව, පුහුණුව, විනය, කැපවීම සහ වෘත්තීය සීමා අවශ්‍ය කලාවක් ලෙස සැලකුවාය. ක්ෂේත්‍රයට පැමිණෙන තරුණියන්ගේ ආරක්ෂාව, ඔවුන් අයුතු ලෙස භාවිත කිරීමේ අවදානම සහ වෘත්තීය ආචාරධර්ම පිළිබඳවද ඇය විවෘතව අදහස් පළ කළාය.
