22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයන් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේම අද දින විභාගයට ගැනුණා.
ආරම්භයේදී මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 දරන ශාලාවේදී කැඳවූ අවස්ථාවේදී, නීතිඥවරුන් සහ පාර්ශ්වකරුවන් විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එම ශාලාව ප්‍රමාණවත් නොවන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු පෙන්වා දුන්නා.
මෙම නඩු විභාගය සියලු දෙනාට ඉඩකඩ ඇති 501 ශාලාව වෙත මාරු කරන ලෙස කළ ඉල්ලීම පිළිගත් අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ල, නඩු විභාගය වහාම අංක 501 ශාලාවට මාරු කිරීමට පියවර ගනු ලැබුවා.
අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම යෝජිත සංශෝධනය මෙරට සමස්ත අධිකරණ පද්ධතියටම ඍජු බලපෑමක් එල්ල කරන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් නියෝජනය වන පරිදි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය විමසිය යුතු බවයි.
සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න යන නීතිඥවරුන්ද මෙම ස්ථාවරයට පක්ෂව කරුණු දැක්වුවා.
මෙහිදී රජය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) වගන්තියට අනුව ඕනෑම නඩුකරයකට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ නෛතික අභිමතය සතු වන්නේ අගවිනිසුරුවරයාට පමණක් බවයි.
ඒ සඳහා මැදිහත් වීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැති බවත් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීමේ පූර්ණ බලය අගවිනිසුරුවරයා සතු බවත් ඔහු අවධාරණය කළ අතර අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ද එම ස්ථාවරය අනුමත කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම සඳහා විනාඩි 15කට කටයුතු අත්හිටවූ විනිසුරු මඩුල්ල, යළි රැස්වෙමින් නිවේදනය කළේ පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබඳ ඉල්ලීම බැහැර කර දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය ඉදිරියට ගෙන යන බවයි.
ඉන්පසු ආරම්භ වූ මූලික පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කළෙ, යෝජිත සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යයේ අනිවාර්ය අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානි සිදුවන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්ති සෘජුව උල්ලංඝනය කිරීමක් බවයි.
මූලික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය හා බැඳුණු මෙවැනි සංශෝධනයක් සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර පවතින බල තුලනය බිඳ වැටීමට මෙමඟින් ඉඩ සැලසෙන බවත්, 170 වන වගන්තිය උල්ලංඝනය වන බවයි.
18 සහ 19 ව්‍යවස්ථා සංශෝධනවලදී ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව බලය තුලනයට හානි වන ඕනෑම සංශෝධනයක් ජනමත විචාරණයකින් අනුමත විය යුතු බව ඔහු එහිදී පෙන්වාදුන්නා.
එමෙන්ම සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් අභයගුණවර්ධන සඳහන් කළේ, පනත් කෙටුම්පතේ 2 වන ඡේදය මඟින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 අනුව්‍යවස්ථාවන්ට පටහැනි බැවින් ජනමත විචාරණයකට යොමු කළ යුතු බවයි.
එමෙන්ම සර්වජන බලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ සඳහන් කළේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉතා අවදානම් සහගත පූර්වාදර්ශයක් නිර්මාණය කරන බවත් අනාගතයේදී නැවත ආපසු හැරවීමට සිදුවන ආකාරයේ නීති සම්පාදනය නොකළ යුතු බවයි.
ආචාර්ය අර්ජුන පරාක්‍රම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු තවත් නීතිඥවරු රැසක් කරුණු දැක්වූ අතර පෙත්සම් විභාගය තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ක්‍රියාත්මක වනවා.
අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව සංශෝධනය කිරීම ඇතුළු ප්‍රතිපාදන කිහිපයක් ඇතුළත් කරමින් රජය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෑතකදී රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබුවා.
යෝජිත සංශෝධනය හරහා අධිකරණ ස්වාධීනත්වයට සහ පත්වීම් ක්‍රියාවලියට බලපෑම් එල්ල විය හැකි බව පවසමින් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහා සභාව ඒකමතිකව තීරණය කර තිබුණා..
මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 15කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබුණා.
