ජනමත විචාරණ තියන්න කලින් ජී.එල්.ටයි ඉරාජ්ටයි කරන්න තියෙන දේ ඇමති නලින්ද කෙළින්ම කිව්ව කතාව!

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් තොරව ජනමත විචාරණයකට යා හැකි ක්‍රමයක් තිබේ නම් එය ජී. එල්. පීරිස් මහතා හෝ ඉරාජ් වැනි පෙත්සම් ඉදිරිපත් කළ අය කල්තියා පැහැදිලි කළ යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ජනමත විචාරණයකට සූදානම් වෙමින් රට පුරා රැස්වීම් පවත්වන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා පැහැදිලි කළේ, යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් සම්මත කළ හැකිද නැතහොත් ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීන්දු කිරීමේ පූර්ණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.

විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය ඉල්ලූ පමණින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් බැහැරව ජනමත විචාරණ පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවත් ඉදිරි සති තුන ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබුණු පසු ඒ පිළිබඳ ඉදිරි පියවර තීරණය කරන බවත් ඔහු පැවසුවා.

එතෙක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය පවත්වන දේශපාලන රැස්වීම් සමඟ මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීම සහ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ පැවසූ අමාත්‍යවරයා, දේශපාලන පක්ෂවලට මෙන්ම ඕනෑම පුරවැසියෙකුට හෝ වෘත්තීය සමිතියකට නීතිය හමුවට යාමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවතින බව එහිදී පෙන්වාදුන්නා.

ඒ පිළිබඳව අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඉරාජ් පවා මේකට පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉරාජ්ට තියෙන අයිතියම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තියෙනවා. හැබැයි දේශපාලන පක්ෂ විරෝධතා කළාට රටේ ජනජීවිතය කඩා වැටෙන්නේ නෑ. නීතිඥවරු වර්ජනයක් කළොත් නඩු කල් යයි. නමුත් 22 වන සංශෝධනය දඩමීමා කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට ගියොත් පීඩාවට පත්වෙන්නේ අහිංසක රෝගීන්. ඒ නිසා රෝගීන්ගේ ජීවිත බිල්ලට තියලා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න එපා කියලා සෞඛ්‍ය ඇමති විදිහට මම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා.”

එමෙන්ම පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සහ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ පිළිබඳ සමාජ මාධ්‍යවල එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන පෙත්සම් විභාග කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව සහ විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අගවිනිසුරුවරයා සතු කර ඇති බව ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළටම විනිසුරුවරුන් පත් කළ යුතු යැයි හෝ ඉල්ලූ පමණින් සියලු විනිසුරුවරුන් කැඳවිය යුතු යැයි නීතියක් නොමැති බවත් අධිකරණයේ අභ්‍යන්තර තීරණ අභියෝගයට ලක් කිරීමට දේශපාලනඥයන්ට ඉඩක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Author

Related Posts