මිනිස් ජාවාරමට තිත තියන්න සහ බුද්ධි තොරතුරු බෙදාගන්න ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්!

සංවිධානාත්මක අපරාධයක් වන පුද්ගල ජාවාරම් හා මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීම, දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සහ වීසා කටයුතු පහසු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබා දී තිබුණා.

සංවිධානාත්මක අපරාධ ලෙස සැලකෙන තැනැත්තන් වෙළෙඳාම සහ මිනිස් ජාවාරම් කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීම, දෙරට අතර ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා වැදගත් වන නිල තොරතුරු මෙන්ම බුද්ධි තොරතුරු අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගැනීම ආදිය ගිවිසුමේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වනවා.

එමෙන්ම දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි නියැලෙන පුරවැසියන් වෙනුවෙන් වීසා, ආගමන හා විගමන කටයුතු වඩාත් සක්‍රීය හා සාධනීය ප්‍රවේශයක් ඔස්සේ පහසුකම් සැපයීම, දෙරටේ අදාළ ආයතන ප්‍රධානීන් හා නිල නියෝජිතයින් මට්ටමින් සිදු කෙරෙන සාකච්ඡා සහ නිල සංචාර සඳහා පහසුකම් සැලසීම සහ ආගමන හා විගමන නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ වැඩමුළු සංවිධානය කිරීම යනාදිය ඊට ඇතුළත් වනවා.

මෙම කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම නීතිපතිවරයාගේ නෛතික නිෂ්කාශනයන් මේ වන විටත් ලැබී ඇති බව රජය නිවේදනය කර තිබෙනවා.

Author

Related Posts