කොළඹ වරායට පාකිස්තානයේ සිට මොරොක්කෝව වෙත ප්‍රති-නැව්ගතකිරීමේ (Transshipment) මුවාවෙන් රැගෙන ආ බහලුමක සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475ක පමණ විශාල තොගයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (31) සොයා ගැනීමට සමත්ව තිබේ.
මෙම සැක සහිත බහලුම් දෙක රැගත් නෞකාව ඉකුත් ජූනි මස 27 වැනිදා දිවයිනට පැමිණ ඇති අතර, අදාළ බහලුම ගෙන්වන ලද බවට සැකපිට කොළඹ මැලිබන් වීදියේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව, සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකු ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු දැන සිටි බවට සැකකෙරෙන වාප්පු ලිපිකරුවෙකු (Wharf Clerk) පොලිස් වැටලීමේදී පලාගොස් ඇති අතර, පසුව ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර වී ඇත.
මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කර ඇත්තේ, පසුගිය මාස කිහිපය තුළ නාවික මාර්ග ඔස්සේ සිදුකළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් ජාවාරම්කරුවන් මේ වන විට බහලුම් වැනි විකල්ප මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට පෙළඹී ඇති බවයි.
තවද, ඉකුත් මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 18,000කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 260,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඔහු පවසා තිබේ.
මේ අතර, මීට පෙර අවස්ථාවලදී සෘජු පරීක්ෂාවන්ට ලක් කළ යුතු ‘රෙඩ් ලේබල්’ සහිත බහලුම් ඇතුළු බහලුම් 300කට අධික සංඛ්‍යාවක් නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීමේ සිද්ධිය ද මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ නැවතත් කතාබහට ලක්ව තිබේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පරීක්ෂාවකින් තොරව බහලුම් පිටතට යැවීමෙන් පසු ඒ තුළ මත්ද්‍රව්‍ය නොතිබූ බවට ආණ්ඩුව සහ ඇමැතිවරුන් කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි. බහලුමක් වරායෙන් පිටතට ගිය පසු එහි ඇතුළත් ද්‍රව්‍ය වෙනස් කිරීමට ජාවාරම්කරුවන්ට හැකියාව පවතින බැවින්, පසුපසින් සිදුකරන පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටලු මතුවන බව විචාරකයෝ පෙන්වා දෙති.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පිරිස් අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව ඉදිරි විමර්ශන පවත්වයි.
