පැරිස්වල හොලිවුඩ් මහ චරිත මැද්දේ විලාසිතා පෙන්නූ අපේ කෙල්ල!

ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකාරියක වන චතුරි සමරවීරගේ ආන්යා කලෙක්ෂන් ආයතනය පසුගියදා පැරිස් විලාසිතා සතියේදී ප්‍රථම වරට සිය නිර්මාණ එකතුවක් ප්‍රසිද්ධ කළා.

එය ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවෙකු හෝ නිර්මාණකාරියක විසින් ප්‍රංශ විලාසිතා සතියේදී නිර්මාණ එකතුවක් ඉදිරිපත් කළ පළවැනි අවස්ථාව. ඇය ගැන කතා කරන්නට පෙර අප මෙවර පැරිස් විලාසිතා සතිය ගැන යමක් කියා ඉන්නම්.

චැනල්

මෙවර ප්‍රංශ විලාසිතා සතිය ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. එමා වොට්සන්, නිකොල් කිඩ්මන්, මාර්ගෝ රොබී, පෙඩ්රෝ පැස්කාල් යනාදී ප්‍රකට හොලිවුඩ් නළු නිළියන්ද සහභාගී වුණා.

මාර්ගෝ රොබී

මෙවර වැඩිම අවධානයක් දිනා ගත්තේ චැනල් වෙළඳ නාමය වෙනුවෙන් සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සිදුකළ එම ආයතනයේ නව නිර්මාණ අධ්‍යක්ෂ මැතෙයෝ බ්ලේසී. ඔහු කොකෝ චැනල් නාමයේ බර කරට ගත් නවතම නිර්මාණකරුවා ලෙස, ලෝකයේ අවධානය දිනා ගැනීමට උත්සාහ කළා.

බ්ලේසි

මෙවර චැනල් පසුතලය ලෙස දැවැන්ත ග්‍රහලෝකවලින් සමන්විත සෞරග්‍රහ මණ්ඩලයක් නිර්මාණය කර තිබුණා. මේ පසුතලයේ අරමුණ වුණේ කාලයක්, යුගයක් සහ ස්ථානයක් නොමැති විශ්වීය විලාසිතා එකතුවක් ඉදිරිපත් කිරීමට බ්ලේසිට තිබුණු වුවමනාව.

පැසකල්
වොට්සන්

චැනල් කියන්නේ කොකෝ චැනල් නම් ලෝකප්‍රකට විලාසිතා නිර්මාණකාරිය විසින් ආරම්භ කළ අතිශය සුඛෝපභෝගී විලාසිත වෙළඳ නාමයක්. ඇය ඉපදුණේ 1883 දී. බ්ලේසි ඉපදිලා තිබෙන්නේ 1984 දීයි. ඒ කියන්නේ, ඔහු තමන්ට වඩා අවුරුදු සීයකට කලින් ඉපදුණු විලාසිතා නිර්මාණකාරියකගේ වෙළඳ නාමයයි බාරගෙන ඇත්තේ.

චැනල්

‘කොකෝ පිරිමි ඇඳුම් ඇන්දේ පිරිමින්ට සමාන බව පෙන්වන්න ඕනෑ නිසා. ඒත් ඒ අතරේම ඇයට පිරිමින්ව ආකර්ෂණයෙන් පොළඹවාගන්නත් ඕනෑ වුණා.‘ යනුවෙන් බ්ලේසි මාධ්‍ය වෙත කියා තිබුණා. ඔහුගේ විලාසිතා එකතුවේ තිබුණු සාරයත් ඒ වගෙයි. පිරිමි කමිස, කලිසම්, ජැකට්, බොත්තම් රටා ආදිය ඇසුරෙන් ඔහු කාන්තා ඇඳුම් නිර්මාණය කර තිබුණා.

බෙලෙන්සියාගා

චැනල් විලාසිතා එකතුවට නොදෙවනි ආන්දෝලනයක් බෙලෙන්සියාගා මෙවර ඉදිරිපත් කළ එකතුවටත් ලැබුණා. වඩා සැහැල්ලු ඇඳුම් එකතුවක් ඉදිරිපත් කළ ඔවුන්ගේ විශේෂම අමුත්තිය වුණේ මේගන් මර්කල් කුමරිය. ඇය වසර තුනකට පසුයි යුරෝපයේදී ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගී වුණේ.

බෙලෙන්සියාගා ඉතාලියානු සම්භවයක් තියෙන ප්‍රංශ විලාසිතා වෙළඳ නාමයක්. ඔවුන් බ්‍රිතාන්‍ය රජ පවුල හෝ බ්‍රිතාන්‍ය තරු සමඟ සම්බන්ධයක් නොතිබුණු වෙළඳ නාමයක් ලෙස ප්‍රකටයි. ඉතින්, මර්කල් කුමරියව ගෙන්වීම විශාල අවධානයකට ලක් වුණා.

ක්‍රිස්ටෝබල් බෙලෙන්සියා 1957 දී එල්ලා වැටෙන මල්ලක් වගේ ඇඳුමක් නිර්මාණය කර තිබුණා. සිරුරට ලිහිල් වූ ඒ ඇඳුම, කාන්තාවකගේ ශරීරයේ තියෙන පියවුරු, තට්ටම් යනාදී ශරීරාංග ඉස්මතු නොකරන අන්දමේ ඇඳුමක් වුණා. නවසිය පණස් ගණන්වල සිට හැටේ දශකය වෙද්දී සිදු වූ කාලයේ වෙනස්කම්වලට අභියෝග කළ රැඩිකල් ප්‍රකාශනයක් සෙ ඒ ඇඳුම් එකතුව සැලකුවා. මෙවර බෙලෙන්සියාගා ඒ එල්ලා වැටෙන ශරීරයට තද නොවූ සැහැල්ලු පෙනුමට මුල් තැන දී තිබුණා. කාන්තා විමුක්තිය මෙවර ඇඳුම් එකතුවේ තේමාව බව කීවා.

ආන්යා කලෙක්ෂන්

චතුරි සමරවීර කියන්නේ මෙරට කලා ඉතිහාසයේත් ප්‍රකට කාර්යභාරයක් ඉටු කළ හැරල්ඩ් පීරිස් මහතාගේ දියණිය. මෝනිං පුවතපතට වතාවක් සම්මුඛ සාකචඡාවක් දෙමින්, ‘පොඩි කාලයේ ඉඳන් මම විලාසිතා සහ කලාව ගැන උනන්දු වුණා. මගේ මාපියන්, විශේෂයෙන් මගේ තාත්තා දේශීය කලාකරුවන් සහ කලාකාරියන් එක්ක වැඩ කළා. මගේ අම්මාටත් විලාසිතා ගැන ඉවක් තිබුණා. අපට දේශීය කලාකරුවන්ට සහාය දැක්වීමට පදනම් ආයතනයක් තිබුණා. පොඩි කාලයෙ ඉඳන් මම කලාකරුවන් එකක හැදී වැඩුණා.‘ යනුවෙන් ඇය කියා තිබුණා.

ඒ ඔස්සේ ඇය ලොස් ඇන්ජලීස්හි Fashion Institute of Design & Merchandising (FIDM)  හි උපාධිය ලබා තිබුණා. එයින් පසු විලාසිතා වෙළඳ නාම කිහිපයක ඇය වැඩ කර තිබුණා. පසුව නැවත ලංකාවට පැමිණි ඇය මාස් සමාගමේත් සේවය කළා. පසුකාලීනව ඇය ඩුබායි වෙත ගොස් ආන්යා කලෙක්ෂන් නම් වූ තමන්ගේම ආයතනය ආරම්භ කළා.

ඩුබායිහි විලාසිතා රසඥතාව අනුව යමින් ආන්යා එකතුවේ තිබුණේ නවීත්වය සහ සම්ප්‍රදාය මුසු වූ විලාසිතා ස්වරයක්.

මෙවර ආන්යා ඇඳුම් එකතුව ස්වාභාවික සුන්දරත්වය මෙන්ම හැඩතලවලින් යුක්ත ඇඳුමවලින් සමන්විත වුණා. මුහුදු බෙල්ලන්ගේ වක්‍රාකාර හැඩතල, මුහුදු රළ මෙන්ම ගස්වැල්වලින් පවා ඇගේ හැඩතලත්, වර්ණත් ආභාසය ලබා තිබුණා.

මෙම එකතුව පැරිස් විලාසිතා සතියට යෑම ශ්‍රී ලංකාවටත් ආඩමබරයක්. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විලාසිතාකාරියක් පැරිස් විලාසිතා සතියට ගිය මුල්ම වතාව මේක.

විලාසිතා යනු සුඛෝපභෝගී කලා මාදිලියක්. එහෙත්, ගැඹුරු සහ රසවත් විෂයක්. එය ඉතා අධික මුදලැති ඇඳුම් අලෙවි කිරීමට මෙන්ම ලෝකය පුරා මිනිසුන අඳින පලඳින ආකාරයට බලපෑම් කරනවා. ආන්යා කලෙක්ෂන් ඉදිරියේදී විලාසිතා ලොව තව ජයග්‍රහණ ලබාවි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading