අසේල කුරුළුවංශ
බොරු කියමින් සමාජය විනාශ කළ දේශපාලනඥයින්ට මහ පාරේ බියෙන් හා සැකයෙන් තොරව ගමන් කළ නොහැකි වුවත් තමන්ට එවැනි තත්ත්වයක් උද්ගතව නොමැති බවත් රටේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට කිසිදු කරදරයකින් තොරව තනිව යෑමට තමන්ට හැකි බවත් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
තර්ජන වලට තමන් බිය නොමැති බවත් බිය වන්නේ නම් පොලීසියේ නොඉන්නා බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේද පැවසුවේය.තර්ජන වලට මම බය නැහැ. බයනම් අපි පොලීසියේ ඉන්නේ නැහැ. පොලීසියේ සේවයට සම්බන්ධ වුණේ මේවා ගැන දැනගෙන සියලු දේට සූදානම් වෙලයි. රටේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන් කියන විශ්වාසයක් මට තිබෙනවා. අපිට තර්ජන තියෙනවා කියලා කියපු දේශපාලනඥයින්ට නම් එහෙම එන්න බැහැ කියලා මට විශ්වාසයි. මොකද ඒ තරමට ඒ අය බොරු කියනවා. අසාධාරණ කරමින් සමාජය විනාශය කළ අය වගේ නෙවෙයි අපි. ඒ නිසා රටේ එහා කොනේ ඉඳන් මෙහා කොනට කරදරයක් නැතුව යන්න එන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ජත්‍යන්තර රතු වරෙන්තු ලැබූ 73 දෙනෙකු ඇතුළු විදේශ ගතව සිටින සියයකට ආසන්න පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ජත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සදහා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල වල විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. කැනඩාවේ තානාපතිනිය හමුවී මම සාකච්ඡා කළා. මේ ගෙන යන වැඩපිළිවෙළ සඳහා උපරිම සහය දෙන බව එතුමිය ප්‍රකාශ කළා. අපි මේ කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම ඉතාම සාර්ථකයි කියලා විදේශ රාජ්‍යයන් පිළිගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය සැපයුම නතර කරන්න අපිට කරන්න පුළුවන්. ඉල්ලුම අඩුකර ගැනීම සඳහා ජනමාධ්‍ය වල වගේම මහජනතාවගේත් සහය අවශ්‍යයයි. පවුලෙන් පවුලට මේ ගැන උනන්දුවෙන් කටයුතු කරන්න ඔ්න.
පාතාලය මර්දනය කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්නකොට තමන්ගේ බලය පෙන්වන්න පාතාල ක්‍රියාකාරින් අතර ගැටුම් ඇතිවීම ඉතිහාසයේත් සිදු වුණා. මේක අපි සෑහෙන දුරට පාලනය කරගෙන තිබෙනවා. අවශ්‍යය පුද්ගලයින් අත්අඩංගුවට අරන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ වනවිට සිදු කරන මත්ද්‍රව්‍ය හා පාතාල මෙහෙයුම් හේතුවෙන් ඔවුන් සිටින්නේ කැළඹිලයි. වෙඩි තැබීම් කළ හා ඒවට ආධාර අනුබල දුන් 90 % ක් පමණම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
සමහර මත්ද්‍රව්‍ය පහළ ස්ථරය දක්වාම පැතිරිලා තියෙනවා. පහළ ස්ථරය ගත්තම අද වනවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් මත්ද්‍රව්‍ය අළෙවි කරුවන් බවට පත්ව තිබෙනවා. එක පුද්ගලයෙක් ඔහුට අවශ්‍යය මත්ද්‍රව්‍ය ගන්න තව මත්ද්‍රව්‍ය පැකට් 10 ක් විකුණනනවා. මේ නිසා ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් පමණක් නොව ජාවාරම්කරුවෙක් බවටත් පත්වෙනවා. මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල කළත් සැබෑ තත්ත්වය මේකයි. ඇතැම් අවස්ථාවල අඩුපාඩු හා වැරදි වෙන්න පුළුවන්. අනවශ්‍යය විදිහට නීතියේ බලය පාවිච්චි කරන්න එපා කියලා නිලධාරින් දැනුවත් කරලා තියෙනවා. මෙයට එරෙහිව කටයුතු කළ බවට පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැමිණිල්ලක් ලැබුණොත් ඒ සම්බන්ධව විධිමත් ලෙස සොයා බලා විමර්ශනයක් සිදු කිරීමෙන් පසු පැමිණිල්ල සත්‍ය නම් විනය හා නීති ක්‍රියාමාර්ග ගන්නවා. මේ වනවිට එහෙම ක්‍රියාමාර්ග ගත් අවස්ථාත් තිබෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම් නතර කරන්න කියලා මට කිසිම බලපෑමක් නැහැ. බලපෑම තිබෙන්නේ තවත් වැටලීම් කරන්න කියලයි. මේ ජාවාරම් වලට මුදල් ආයෝජනය කළ හා උපකාර කළ පිරිස් යම් ආකාරයකට කැළඹිලා තිබෙන බවක් නිරීක්ෂණය වෙනවා.
