අලුත් ත්‍රස්ත පනත ගැසට් කොට පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් තීන්දුවක්!

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ප්‍රතිස්ථාපනය කරමින්, ඒ වෙනුවට හඳුන්වා දෙන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. අගෝස්තු 18 වැනිදා නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇති අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සදහන්ය.

නව පනත සඳහා මූලික කෙටුම්පත සකස් කිරීම පිණිස රජය විසින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබූ අතර, ඔවුන් විසින් අදාළ මූලික කෙටුම්පත සකස් කර තිබේ.

එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ නමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා 2026 අගෝස්තු 10 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය (Attorney General’s clearance) ද ලැබී තිබේ.

මෙම සියලු නීතිමය ක්‍රියාවලීන් සම්පූර්ණ වීමෙන් අනතුරුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අනුව එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Author