මහනායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියේ අන්තර්ගතය මගේ අමාත්‍යාංශයට ලැබුනේ නෑ- අධිකරණ ඇමති

අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව තෛයි නිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයට යවන ලද ලිපියේ අන්තර්ගතය සිය අමාත්‍යාංශයට නොලැබුණ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර අද (අගෝස්තු 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අධිකරණ ඇමතිවරයා පැවසුවේ එම ලිපිය ජනාධිපතිවරයාට ලැබීමෙන් පසු ඔහු හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහනායක හිමිවරුන් හමුවීමට ගොස් සිදුකිරීමට නියමිත සංශෝධන පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ බවයි.

එම සංශෝධන පිරිසක් ඉලක්ක කරමින් සිදුකරන්නක් නොවන බව හා අධිකරණයේ මුළු විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන්ම සිදුකරන්නක් බව පෙන්වාදුන් බවත්, එහෙත් මහනායක හිමිවරුන් ඒ සම්බන්ධයෙන් දැනගෙන සිට ඇත්තේ එය ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමක් ලෙසට බවත්ය. ඒ අනුව එම ලිපිය ජනාධිපතිවරයාට යවා ඇති බවත්ය. මහනායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කළ පිරිස් ඒ සම්බන්ධයෙන් වැරදි කරුණු කියා ඇති බවය.

Author

Related Posts