අසේල කුරුළුවංශ
මහනුවර රැජිණ හෝටල් පරිශ්රයේ පිහිටි මහනුවර මහ නගර සභාවට අයත් කොරිඩෝවේ පනවා තිබෙන පෙරහර ආසන මිල ගණන් අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ඉදිරි පෙළක සිට නැරඹීමට ගෙවිය යුතු මුදල රුපියල් 28000 ක් ලෙස ප්රසිද්ධ කර තිබේ.
මේ වනවිට අවසන් රන්දෝලි මහ පෙරහරේ ආසන සියල්ල විකිණී අවසන් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසයි.
ආසන අළෙවියෙන් මේ වනවිට නගර සභාව උපයා තිබෙන මුදල රුපියල් ලක්ෂ 200 කි.කසළ ඉවත් කිරීම, ජල හා වැසිකිළි පහසුකම් ලබාදීම ඇතුළු පෙරහර වෙනුවෙන් ලබාදෙන සේවා කටයුතු වෙනුවෙන් නගර සභාවට රුපියල් කෝටි 02 කට ආසන්න මුදල් වැය කිරීමට සිදුවන බවත් පෙරහර ආසන පැනවීම මගින් ලැබෙන මුදලින් මෙම වැය බර ආවරණය කර ගන්නා බවත් ඇය කීවාය.
මහනුවර ඇසළ මංගල්ලයේ අවසන් රන්දේලි මහ පෙරහරේ ආසනයක් පසුගිය අවස්ථාවේ රුපියල් 40000 ක පමණ මුදලකට අළෙවි කිරීමට ආසන ජාවාරම්කරුවන් කටයුතු කර තිබිණි.
