ආනයන මුවාවෙන් ජාවාරම් කරන්නන්ට එරෙහිව නීති සංශෝධනය වෙයි!

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අනවසරයෙන් විදේශයන් වෙත මුදල් මාරු කිරීම වළක්වාලීම සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම අරමුණු කරගනිමින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මේ බව අගෝස්තු 18 වැනිදා නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම කැබිනට් තීරණයට අනුව, ශ්‍රී ලංකාවේ සිටින යම් පුද්ගලයෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා මුදල් ප්‍රේෂණය කර, ඉන් අනතුරුව අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එම ක්‍රියාව බැංකුවක් හරහා සිදු කළ ද එය නීත්‍යානුකූල නොවන විදේශ විනිමය මාරු කිරීමක් ලෙස මින් ඉදිරියට සැලකෙනු ඇත.

දැනට පවතින විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ මෙවැනි මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වී ඇත්තේ, අදාළ ගනුදෙනු අත්හිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට උපදෙස් දීම පමණක් බව එම කැබිනට් නිවේදනයේ පෙන්වා දී තිබේ.

තවද, මෙවැනි ආකාරයේ මුදල් මාරු කිරීම් වත්මන් විදේශ විනිමය පනත යටතේ ‘අපරාධ වරදක්’ ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, ඊට එරෙහිව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවද රජය හඳුනාගෙන ඇත.

එබැවින් මෙම නෛතික හිඩැස වසා දැමීම සඳහා, ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසරයෙන් මුදල් මාරු කිරීම අපරාධ වරදක් ලෙස අර්ථ දක්වමින් අදාළ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇත. මෙම සංශෝධනය හරහා මෙවැනි අයථා ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට මෙන්ම, ඊට අනුබල දෙන ආයතනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට අවස්ථාව සැලසේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සලකා දඬුවම් දීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් දීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවී තිබේ. භාණ්ඩ ආනයනය නොකර ව්‍යාජ ලේඛන මගින් ඩොලර් බිලියනයකට අධික මුදලක් විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පසුගියදා අනාවරණය වී ඇති පසුබිමක රජය විසින් මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading