විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (අගෝස්තු 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂය ඊට විරෝධය පළකිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇතිවිය.
විපක්ෂය කුළුණු තුනක් මත ගොඩනැඟී ඇති හා එහි අධිකරණය නැමැති කුළුණ කළු පාටින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය නැමැති මන්දිරයක් ඇති විරෝධතා කොළ ප්‍රදර්ශනය කරමින් ඊට විරෝධය පළකළ අතර සභානායක ඇමති බිමල් රත්නායක එම ප්‍රදර්ශන කොළ මුළු දවස පුරා හා මෙම විවාදය සිදුවන සතිය පුරා අල්ලාගෙන සිටින ලෙස ඉල්ලීමක් කළේය.
එම සංශෝධන ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පෙන්වා දුන්නේ එහි සංශෝධනයේ බලපෑම විස්තර කර නැති බවත්, එය නිවැරදි කරන ලෙසත්ය.
එමෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන පරිදි සිදුනොවීම සඳහා ඊට අදාළ කටයුතු සිදුකරන ලෙසයි.
