පවතින දැඩි වියළි කාලගුණය හමුවේ මඩකලපුව, මොණරාගල සහ අම්පාර ඇතුළු පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පානීය ජලය බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.
මෙහිදී වැවිලි, කෘෂිකාර්මික, වනජීවී මෙන්ම ජල සම්පත් කළමනාකරණ අංශ මඟින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් සිදුවිය හැකි භූගත ජල මට්ටම පහත බැසීම වැළැක්වීමට හා ඊට මුහුණදීමට ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දේශගුණික අනාවැකි පදනම් කරගනිමින් අවදානමට ලක්විය හැකි ක්ෂේත්‍ර සුරක්ෂිත කිරීම සහ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
