වටමේසයේ නයිට්වරුන් 10ක් එක්ක කිං හැරී දින්නා! වයිකිං යක්ෂයන් පරදා ශුද්ධ වූ කුසලානය ජයගන්න එංගලන්තයට හැකිවේවිද?

ලෝඩ් ඔෆ් ද රිංග් චිත්‍රපටිවල යක්ෂයන් හෙවත් ඕර්ක්ලා සහ සව්රෝන්ට එරෙහිව සටන් වදින්නේ රජවරුන්ගේ නායකත්වයෙනි. යක්ෂයාගේ බලයට දෙවිවරුන් දණගැසුවත් රජවරුන් හෙවත් මනුෂ්‍යයන් යක්ෂයාව පරදවන පුරාවෘත්ත බොහෝය. නොර්වේ යනු අවුරුදු 28කට පසු ලෝක කුසලාන තරගාවලියට කඩාවැදුණු යක්ෂයන් නම්, බ්‍රසීල දෙවිවරුන්ට ඔවුන්ව පරාජය කරන්නට පුලුවන් නම් රජවරුන්ට පුලුවන් වේවිද?

නෝර්වේ තරඟය ගැන කියද්දී ලෝඩ් ඔෆ් ද රිංග් උපහැරණයක් පාවිච්චි කළත් මෙවර එංගලන්ත කණ්ඩායමට ගැලපෙන්නේ කිං ආතර් පුරාවෘත්තයයි. ආතර් වෙනුවට කිං හැරී සිටී. ඔහු ලෝක කුසලානය නම් වූ හෝලි ග්‍රේල් එක සොයා යයි. බෙලිංහැම් ඉන්නේ ලාන්ස්ලොට් වාගේය.

ආතර් රජුට පිටුපසින් සිට මුළු රාජධානියේම උපක්‍රම සහ මායාවන් මෙහෙයවන මන්ත්‍රකාරයා මර්ලින්ය. එංගලන්ත කණ්ඩායමේ “මර්ලින්” වන්නේ කළමනාකරු තෝමස් ටුචෙල්ය.

හෝලි ග්‍රේල් පාත්‍රය සෙවීමේ මෙහෙයුමේදීත්, ආතර්ගේ කොටුව රැකීමේදීත් නොසැලී සිටි අතිශය විශ්වාසවන්ත නයිට්වරයා පර්සිවල්ය. එංගලන්තයේ ගෝල් කණුව සහ රාජධානියේ ද්වාරය රකින පර්සිවල් වන්නේ ජෝර්ඩන් පික්ෆර්ඩ්ය.

වට මේසයේ සිටි වඩාත්ම පවිත්‍ර, දක්ෂ සහ තීරණාත්මක නයිට්වරයා වන්නේ ගැලහඩ්ය. කණ්ඩායමේ දකුණු පසින් නැගී එන බුකායෝ සාකා ඒ ගැලහඩ්ගේ භූමිකාවට මනාව ගැලපේ.

එංගලන්තය අවසන් වරට ලෝක කුසලානයක් දින්නේ අවුරුදු හැටකට කලින් 1966 දීය. එයින් පසු රාජකීයයන්ගේ රාජ තේජස ලෝක කුසලානය ස්පර්ශ කළේ නැත. හතරවැනි ස්ථානය 2018 දී ගත්තා මිසක රාජකීයයන් පැත්ත පළාතේ ආවේ නැත. ඉතිං කිං හැරී ප්‍රමුඛ නයිට්වරුන්ට ඊළඟ අභියෝගය දැවැන්ත එකකි.

එහෙත් මෙවර 16 වටයේදී එංගලන්තය මෙක්සිකෝව පරාජය කළේ මෙවර කුසලානය ගැනීමට වුණත් බැරි නැති බව පෙන්වමිනි.

තරගයේ විනාඩි 40කට වඩා ක්‍රීඩකයන් 10 දෙනෙකු සමඟ තරග කරන්නට ඔවුන්ට සිදු විය. අතිශය උණුසුම් මෙක්සිකන් ප්‍රේක්ෂකාගාරයකට මුුහුණදීමට සිදු විය. එංගලන්තය එහෙත් දින්නේය. ඇත්තෙන්ම මෙවර ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රංශය හැරුණාම වැඩි ඉඩක් ඇත්තේ එංගලන්තයටයි.

මෙක්සිකෝ සිටි නුවර පිහිටි සුප්‍රකට ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය, ප්‍රදේශයට බලපෑ දැඩි අකුණු සහිත වැසි තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාද වී ආරම්භ විය.

තරගයේ ආරම්භයේ සිටම සත්කාරක මෙක්සිකානු කණ්ඩායම ප්‍රේක්ෂක සහයෝගයද ඇතිව දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර, එංගලන්තය පසුපසට වී එම පීඩනය දරාගැනීමට උත්සාහ කළේය. මෙක්සිකෝවේ රාවුල් හිමිනෙස් එල්ල කළ භයානක හිසෙන් පහරක් සාර්ථකව වැළැක්වීමට එංගලන්ත ගෝල් රකින ක්‍රීඩක ජෝර්ඩන් පික්ෆර්ඩ් සමත් විය.

කෙසේ වෙතත්, තරගයේ 36 වැනි මිනිත්තුවේදී බුකායෝ සාකා ලබාදුන් විශිෂ්ට පන්දුවක් හිසෙන් පහරක් එල්ල කරමින් ගෝලයක් බවට පත් කිරීමට ජූඩ් බෙලින්හැම් සමත් විය.

ඉන් තත්පර 98ක් ගතවීමටත් මත්තෙන්, එනම් 38 වැනි මිනිත්තුවේදී හැරී කේන් ලබාදුන් පන්දු යොමුකිරීමක් උපයෝගී කරගනිමින් බෙලින්හැම් සිය දෙවැනි ගෝලයද වාර්තා කරමින් එංගලන්තය 2-0ක් ලෙස පෙරමුණට ගෙන ආවේය.

නමුත් මෙක්සිකෝව ලෙහෙසියෙන් පසුබැස ගියේ නැත. 42 වැනි මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහරක් සාර්ථකව ප්‍රයෝජනයට ගත් හූලියන් කිනෝනස්, දක්ෂ වොලි පහරකින් මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයකින් තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේය. 54 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ ජැරල් ක්වන්සා, මෙක්සිකෝවේ ජේසුස් ගයාඩෝට එල්ල කළ රළු ආසාධාරණ ටැකල් කිරීමක් හේතුවෙන්, VAR පරීක්ෂාවකින් පසු ඔහුට රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමා වූ එංගලන්තය දැඩි අසීරුතාවකට පත් වුවද, 58 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන්ව මෙක්සිකානු ගෝල් රකින්නා විසින් බිම හෙළීම නිසා එංගලන්තයට පෙනල්ටි පහරක් හිමි විය. එය සාර්ථකව එල්ල කළ නායක හැරී කේන් එංගලන්ත ලකුණු තත්ත්වය 3-1ක් ලෙස ඉහළ නැංවීය.

නැවතත් ක්‍රියාත්මක වූ මෙක්සිකානු කණ්ඩායම එංගලන්ත සීමාව ආක්‍රමණය කළේය. 67 වැනි මිනිත්තුවේදී හැරී කේන් විසින් මෙක්සිකෝවේ බ්‍රයන් ගුටරෙස් හට සිදුකළ බාධා කිරීමක් හේතුවෙන් VAR සහය ඇතිව මෙක්සිකෝවට පෙනල්ටි පහරක් හිමි විය. 69 වැනි මිනිත්තුවේදී එය සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමට රාවුල් හිමිනෙස් සමත් වූයේ තරග ලකුණු තත්ත්වය 3-2ක් ලෙස තියුණු කරමිනි.

තරගයේ අවසන් විනාඩි 20 සහ අතිරේකව ලබාදුන් මිනිත්තු 11 පුරාම මෙක්සිකෝව ඇස්ටෙකා ක්‍රීඩාංගණය දෙවනත් කරමින් දරුණු ප්‍රහාර මාලාවක් දියත් කළේය. එංගලන්ත කළමනාකරු තෝමස් ටුචෙල් වහාම ක්‍රියාත්මක වී ඩෑන් බර්න්, ජෝන් ස්ටෝන්ස් සහ ජෙඩ් ස්පෙන්ස් වැනි ආරක්ෂක ක්‍රීඩකයින් ලෙස පිටියට කැඳවමින් ආරක්ෂක වළල්ල ශක්තිමත් කළේය.

අවසාන තත්පර කිහිපයේදී ජෝන් ස්ටෝන්ස් සිදුකළ තීරණාත්මක වැළැක්වීම සහ ජෝර්ඩන් පික්ෆර්ඩ්ගේ දක්ෂ ගෝල් රැකීම හේතුවෙන් මෙක්සිකෝවේ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. එංගලන්තය 3-2ක ඓතිහාසික ජයක් වාර්තා කළේය.

එංගලන්තය විසින් මෙක්සිකෝව පරාජය කිරීම ලොකු පුදුමයක් නොවේ. එහෙත් තරගයෙන් අඩක්ම ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කරමින් මෙක්සිකන් ප්‍රේක්ෂකාගාරයක එය කිරීම දැවැන්ත ඓතිහාසික ජයකි.

දැන් එංගලන්තයට කුසලානය දිනන්නට නම් පරාද කරන්නට ඇත්තේ නෝර්වේ (බොහෝවිට) ආජන්ටිනාව සහ (බොහෝවිට) ප්‍රංශය හෝ ස්පාඤ්ඤයයි. අහෝ! යටත්විජිතවාදීන්! මේ අයට පාඩමක් උගන්වන්නට ඇමෙරිකන් මහාද්වීපයේ එකම බලාපොරොත්තුව වනු ඇත්තේ ආජන්ටිනාවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading