“The greatest trick the Devil ever pulled was convincing the world he didn’t exist”—Charles Baudelaire
යක්ෂයාගේ ශ්‍රේෂ්ඨතම මුලා කිරීම වන්නේ ඔහු නැති බව ලෝකයට ඒත්තු ගැන්වීමයි.
“The second greatest trick the Devil ever pulled was convincing the world he is the good guy”—Ken Ammi”
යමරජුගේ දෙවැනි ශ්‍රේෂ්ඨතම මුලා කිරීම ඔහු හොද කෙනෙකු බව ඒත්තු ගැන්වීමයි
නෝර්වේ කණ්ඩායම මෙවර දෙවැනි වටයට සුදුසුකම් ලැබුවා. ඒ අර්ලින් හාලන්ඩ් නිසා. අද ලෝකයේ සිටින විශිෂ්ටම ගෝල් ගසන්නා නිසා.
1994 ලෝක කුසලානයේදී කණ්ඩායම් වටයේ අවසන් ස්ථානයට පත්වෙද්දී, ඒ කණ්ඩායමේ සිටි දැඩි පසුබෑමකට ලක්වූ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඇල්ෆ්-ඉන්ගි හාලන්ඩ්ගේ පුත්‍රයා වන එර්ලින් හාලන්ඩ්, පාපන්දු ලෝකයේ තාත්තාට බැරි වූ දේවල් කරන්නට ඇවිත් සිටිනවා.
අද නෝර්වේ කණ්ඩායම ඉතාලියත් පරදවමින් සුදුසුකම් ලැබූ මේ තරගාවලියේදී සැබෑ කරන්නට ඔහු සමත්ව තිබෙනවා. ඔවුන් ඊළඟට ප්‍රංශයට මුහුණදීමට නියමිතයි. කිලියන් ම්බාප්පේට මුහුණදීමට නියමිතයි. එය මේ ලෝක කුසලානයේ පළවැනි වටයේ වඩාත් බලාපොරොත්තු සහගතම තරගය වනු ඇති. ප්‍රංශය ලෙහෙසියෙන් දිනන්නට ඉඩ තියෙනවා. ඒත් හාලන්ඩ්! ඔහුව විශ්වාස කරන්න පුලුවන් කාටද?
ගෝලයක් ගැසුවාම හරිම සන්සුන් ලීලාවෙන් පිටියේ භාවනා කරන ඉරියව්වකින් හාලන්ඩ් හිදගන්නා විට රැවටෙන්න එපා. ඔහු තමයි යක්ෂයා! ඔහුගේ මායාවට ඔබත් හසුවෙනවා නිසැකයි. මොකද, ඔහු තමයි යක්ෂයා.
මෙසී අද පාපන්දු දෙවියා නම්! හාලන්ඩ් කියන්නේ පාපන්දු යක්ෂයා! දැවැන්ත සිරුරක් හිමි The Devil in Football. සාල්ටන් ඉබ්‍රාහමොවිච්ගෙන් හැමූ සල්ෆර් දුර්ගන්ධයම මේ හාලන්ඩ් නම් වූ යක්ෂයාගෙනුත් එනවා.

දෑස් හැර හාලන්ඩ් ගෝල් ගසන අයුරු බලන්න එපා. එය මායාකාරීයි. එය ඔබව රවටනවා. ඔහුගේ මායාවන්ට ඔබ හසු වුණොත්, ලෝක කුසලානය ඔහු දිනන්න ඕනෑ කියා හිතේවි. එයින් පසු ඉදිරි වටයකදී ඔහුගේ කණ්ඩායමට දරාගන්නට බැරිව පරාජය වෙන්නට සිදු වුණොත් ඔබේ හදවත බිදේවි. ඒ නිසා හාලන්ඩ් යක්ෂයාට මුලා වෙන්නට එපා. අත්වලින් දෑස් වසා ඇගිලි තුඩු අතරින් මේ යක්ෂයා දෙස බලන්න.
විකාර කියවන්නේ නැතිව තරගය දෙසට යොමුවෙමු. මේ සටහන ලිව්වේත් උණ විකාරයෙන්. හාලන්ඩ්ගේ මායාවට හසු වී සහලෝලා උණ.
ලෝක කුසලානයේදී මෙසී වගේම ම්බාප්පේ ගැන හැමෝම කතා කරනවා. ඒත් මෙසීට හෝ ම්බාප්පේට තරම් කණ්ඩායමෙන් විශාල සහයෝගයන් (Assists) නැතිව වුවද, තමන්ට ලැබෙන ඉතා සීමිත අවස්ථාවලින් පවා උපරිම ඵල නෙළාගනිමින් අර්ලින් හාලන්ඩ් තමන් කවුදැයි ලෝකයටම පෙන්වනවා.
සෙනගාලයට එරෙහිව ඊස්ට් රදර්ෆර්ඩ් (East Rutherford) පිටියේ පැවැති මේ තීරණාත්මක තරගයේදී ද එය මනාව පැහැදිලි වුණා.
තරගයේ 43 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට ආ මාකස් පෙඩර්සන් ගෝලයක් ලබා ගත්තා. ඊට පෙර හාලන්ඩ් විසින් නිර්මාණය කළ විශිෂ්ඨ චාන්ස් එකක් මගහැරීම ඇතුළුව නෝර්වේ කණ්ඩායමේ දුර්වලතා කිහිපයක්ම පෙනුණා.
කොහොම වුණත්, දෙවැනි අර්ධය පටන් අරන් 48 වැනි මිනිත්තුවේදී හාලන්ඩ් නෝර්වේ නායක මාටින් ඔඩෙගාඩ්ගෙන් ලැබුණු පාස් එකක් ගෝලයක් බවට හැරෙව්වා.
ඒත් ඊට සුළු මොහොතකින් ඉස්මයිලා සාර් සෙනෙගාලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. ප්‍රංශ තරගයේදී ලෙහෙසි අවස්ථාවක් මගහැරුණු ඉස්මයිලාට ඔප්පු කරන්නට දේවල් තිබුණා.
ඒත් සාර්ගේ ගෝලය හාලන්ඩ්ව තරහ ගැස්සුවා පමණයි. 58 වැනි මිනිත්තුවේදී හාලන්ඩ් තව ගෝලයක් ගැසුවා.
ඒත්, හාලන්ඩ් යක්ෂයා පළවාහරින අප්‍රිකන් යකැදුරෙකුගේ භූමිකාවට ඉස්මයිලා සාර් පණපෙව්වා. 90 වැනි මිනිත්තුවත් පසු වුණාට පස්සේ සාර් තවත් ගෝලයක් ගැසුවා. අන්තිම තප්පරය දක්වා තුන්වැනි ගෝලය ලබන්නට සෙනෙගාලය උත්සාහ කළත්, ඒ වෙද්දී ප්‍රමාද වැඩියි. ඉස්මයිලාගේ අප්‍රිකන් යකැදුරුකම් නෝර්ස් මිත්‍යා කතාවක යක්ෂයෙකු වාගේ වූ හාලන්ඩ්ගේ නොපනත්කම් නවත්වන්නට ප්‍රමාණවත් නෑ.
නෝර්වේ ලෝක කුසලානයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබුවා. මෙසීගේ ආජන්ටිනාවටත්, ම්බාප්පේගේ ප්‍රංශයටත් ඕවා පොඩි ප්‍රවෘත්ති වුණාට, හාලන්ඩ්ගේ නෝර්වේට ඒක අති දැවැන්ත පුවතක්.
තරගය අවසානයෙන් පසු නෝර්වේ කණ්ඩායම පිටිය මැද හිඳගෙන සිය සාම්ප්‍රදායික විජයග්‍රාහී ‘වයිකිං ඔරු පැදීමේ සැමරීමෙහි’ යෙදුණා. (Communal rowing celebration) ලෝකෙම තියෙන වචන පාවිච්චි කළත්, ඒ රණඝෝෂා ශබ්දයෙන් ඇගේ හිරිගඩු පිපෙන හැටි විස්තර කරන්න බෑ. වයිකින්ලා යුද්ධයට පෙර බෝට්ටුව ගනිද්දී නැගූ ශබ්දයලු. රෝ රෝ නමින් හදුන්වන රසිකයෙකු විසින් හදුන්වාදුන් මේ සැමරීම් රටාව බෙර ශබ්දයට සමගාමීව සියල්ලන් එකවර ඔරුවක හබල් ගසන ඉරියව්වක් දැක්වීමක්. දාස් ගාණක් එකවර ‘ඌහ්‘ ශබ්දය නගමින් එහි නිරතවීම බලන්න ආකර්ෂණීයයි.
අද ලෝකයේ සාම සාකච්ඡාවලට මැදිහත්කාරයෙකු වන යුද්ධ නොකරන රටක් වූ නෝර්වේ ඉතිහාසය අතිශය සටන්කාමීයි. ඒත්, වයිකින්ලා යුධ ඔරුවක් රැගෙන යද්දී මුලු සේනාවම එකවර එකම බලයකින් හබල් ගෑම අත්‍යවශ්‍යයි. තනිවම එය කළ නොහැකියි. ඔරුව තනිවම රැගෙන යා නොහැකියි. වයිකින්ලා යුරෝපය හෙල්ලුවේ ඒ යුධමය සාමූහිකත්වයක් එක්කයි. සැබෑ ප්‍රශ්නය හාලන්ඩ්ට මේ ලෝක කුසලානයේ උපරිම දුර හබල් ගසන්නට කණ්ඩායමේ අනෙක් අය සහයෝගය දෙනු ඇතිද යන්නයි.
නෝර්වේ ආරක්ෂක පෙළ බිඳදමමින් සෙනගාලය එල්ල කළ ගෝල දෙක මෙන්ම තරගය පුරාවට ඔවුන්ගේ සමස්තය මගින් පෙනුණේ ඔවුන් ලෝක කුසලානය දිනන්නට හෝ තව වැඩි දුරක් යන්නට තරම් ස්ථාවර මට්ටමක නැති බව විය හැකියි. විශේෂයෙන්ම ප්‍රංශය වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේ මේ දුර්වල ආරක්ෂක උපක්‍රම දැඩි අභියෝගයකට ලක්වනු නොඅනුමානයි. ඒත් ඔවුන් මෙවර ලෝක කුසලානයේදී දැනටමත් අමතක නොවෙන දේවල් කර පෙන්වා හමාරයි. මෙය බොහෝ විට නෝර්වේ පාපන්දු ඉතිහාසයේ ලියැවෙන සුවිශේෂීම සහ ඉහළම ලෝක කුසලාන ගමන වනු ඇති.
