පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කළේ යයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ සිය දිවි හානි ගැනීමේ අවධානමක් ඇතැයි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නිතීඥ අසිත් සිරිවර්ධන ඇතුළු ඔහුගේ නීතිඥයින් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර සිටියා.
අද දින (03) දින මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස කරුණු දක්වා සිටියා.
සුරේෂ් සලේ පිළිබඳව දැනට ලබා දී තිබෙන අධිකරණ වෛද්‍ය වාර්තා වලට අනුව ඔහුට කාංසාව, විශාදය සහ පශ්චාත් කම්පන ආතති තත්ත්වයක් (PTSD) ඇති බවට කරුණු වාර්තා කර තිබේ. මෙම මානසික තත්වයන් ඇති වීමට හේතුව ලෙස සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වධහිංසාවට ලක්වීම බව සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දී ඇත. එසේම මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සුරේෂ් සලේව මානසික ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට යොමුකළ යුතු බව නීතිඥයින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
මෝසමක් මගින් මෙම නඩුව කැඳවමින් මෙම කරුණු අධිකරණයට වාර්තා කර ඇති අතර මෙම මෝසම කැඳවන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හෝ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් එම පාර්ශව වලට නොතීසි නිකුත් කළ අතර ජූනි 4 වනදා සවස 2ට මෙම නඩුව නැවත විභාගයට ගෙන එම කරුණු පිළිබඳව සලකා බැලීමට නියමිතයි.
