එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි බඩඉරිඟු නඩුව යළි කැඳවීමට නියෝග

ගොවීන්ට සහන මිලට දීමට ගෙනා බීජ බඩඉරිඟු තොගයක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 25 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි නඩුව එළඹෙන අගෝස්තු 28 වනදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කර තිබේ.

එදිනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.

පසුගිය 2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙසෙන දිළිඳු ගොවි ජනතාව වෙත සහනදායී මිලකට ලබාදීම සඳහා රජය විසින් රුපියල් මිලියන 25 ක වියදමින් බීජ බඩඉරිඟු තොගයක් මෙරටට ආනයනය කර තිබුණි.

එහෙත්, 2015 ජනාධිපතිවරණ සමයේදී තමන්ට වාසි සහගත දේශපාලන පසුබිමක් නිර්මාණය කරගැනීමේ අරමුණින්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අනිසි බලපෑම් එල්ල කරමින් එම බීජ තොගය සිය දේශපාලන හිතවතුන් ලවා බෙදාහැරීමට කටයුතු කළ බවට චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාව තුළින් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බව ද අල්ලස් කොමිසම පවසයි.

මෙම දූෂණ සහ බලපෑම් කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගිය ජූලි මස 04 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු අධිකරණය මඟින් ඇප මත මුදාහැරීමට කටයුතු කෙරුණි.

නඩුවට අදාළ ඉදිරි විමර්ශන වාර්තා සලකා බැලීම අගෝස්තු 28 වනදා සිදුකිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading