රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව පළාත් සභා මැතිවරණයක් ආසන්නයේ තිබියදී දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැඩි ඇප කොන්දේසි පනවනු ලැබූ අතර, ඒ අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි.
මීට අමතරව සැකකරුවන්ට විදේශගත වීම තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇප මත මුදා හැරුණු එම සැකකරුවන් දෙදෙනාට දකුණු පළාත් සංවර්ධන අධිකාරියට සහ දකුණු පළාත් සභාවට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේ පළමුවන සැකකරු ලබන ජූනි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්වාගෙන යනු ලබන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 16.5ක් වන පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සැලසීම සහ මිලදී ගන්නා ලද පුටු 16,361ක් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීමට කටයුතු කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම මගින් දූෂණය නමැති වරද සිදුකිරීම ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු සැකකරුවන්ට එරෙහි චෝදනා වේ.
