අලුත් පනතින් වැට් බදුවල වෙන්න යන වෙනස්කම්!

KPMG ශ්‍රී ලංකා ආයතනය 2026 මැයි මාසයේ කරපු බදු විශ්ලේෂණයකට අනුව, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (වැට්) පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතෙන් ලංකාවේ වක්‍ර බදු ක්‍රමයට විශාල වෙනස්කම් රැසක් කරන්න යෝජනා කරලා තියෙනවා.

මෙයින් බදු දැල පුළුල් කිරීම, විදේශීය ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද ව්‍යාප්ත කිරීම සහ බදු නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම බලාපොරොත්තු වෙන බව එම ආයතපය කියනවා.

2026 අප්‍රේල් 29 වෙනිදා නිකුත් කරපු මේ පනත් කෙටුම්පතෙන් ලියාපදිංචි වීමේ සීමාවන්, විවිධ අංශවලට බලපාන විශේෂ විධිවිධාන, පරිපාලන ක්‍රියාවලිය සහ දඬුවම් ක්‍රම ගැන සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මේක පනතක් විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරගැනිමෙන් පසුව තමයි නීතියක් බවට පත් වෙන්නේ.

මෙහි තියෙන ප්‍රධානම වෙනසක් වෙන්නේ ජූලි 1 වෙනිදා ඉඳලා වැට් බදු ලියාපදිංචි වෙන්න ඕන වාර්ෂික සීමාව රුපියල් මිලියන 60 ඉඳලා රුපියල් මිලියන 36 දක්වාත්, බදු අය කරන කාල සීමාවක ආදායම රුපියල් මිලියන 15 ඉඳලා රුපියල් මිලියන 9 දක්වාත් අඩු කරන එකයි. මේකෙන් වැට් බදු පදනම ඇත්තටම පුළුල් වෙනවා. විශේෂයෙන්ම කලින් මේ සීමාවට වඩා අඩු ආදායම් ලබපු තොග සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙයින් බලපෑමක් වෙනවා. ඒ නිසාම මෙය එක් පැත්තකින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මත දැවැන්ත බරක්.

ජූලි 1 වෙනිදා ඉඳලා ලංකාවේ ඉන්න අයට මෙරට පදිංචි නැති සේවා සපයන්නන් දෙන ඩිජිටල් සේවාවලටත් වැට් බදු හඳුන්වා දෙනවා. මේ සේවා සපයන්නන් ලියාපදිංචි වෙලා බදු වාර්තා ඉදිරිපත් කරන්න ඕන වුණත්, සේවාව ලබන කෙනා දැනටමත් වැට් බදු ලියාපදිංචි ආයතනයක් නම් (නිසි ලේඛනවලට යටත්ව) වැට් බද්ද අදාළ වෙන්නේ නැහැ.

මූල්‍ය සේවා අංශයේ බදු අනුපාතය ජූලි මාසයේ ඉඳලා සියයට 18 ඉඳලා සියයට 20.5 දක්වා කෙළින්ම වැඩි වෙනවා. පනත් කෙටුම්පතෙන් “පඩිනඩි” (emoluments) වගේ ඇතැම් අර්ථ දැක්වීම් දේශීය ආදායම් පනතත් එක්ක ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේම නිශ්චිතව දක්වලා නැති ආයතනවල ලාභාංශ ආදායම වැට් බදු රාමුව යටතේ ව්‍යාපාරික ලාභ විදිහට සලකන්නේ නැහැ කියලත් පැහැදිලි කරලා තියෙනවා. මූල්‍ය සේවාවලට වැට් බදු සීමාව ඉහළ නැංවීම අනෙකුත් ක්ෂේත්‍රවලට බලපෑ හැකියි. සියලු සේවාවන්ගේ මිලට එයින් බලපෑමක් වනු ඇති.

අපනයනය කරන ව්‍යාපාරිකයන්ට නම් ඉලක්කගත බදු සහන දීලා තියෙනවා. ඇඟළුම් මිලදී ගැනීමේ කාර්යාල හරහා විදේශීය සේවාදායකයන්ට දෙන සේවාවන් ලංකාවෙන් පිට ඉන්න අයට දෙනවා නම් සහ විදේශ සල්ලිවලින් ගෙවනවා නම්, 2025 ඔක්තෝබර් 1 ඉඳලා ඒවා ශුන්‍ය අනුප්‍රමාණ බදු යටතට වැටෙනවා.

මේ අංශවලට සංක්‍රාන්ති ගැලපීම් වගේම දැඩි අනුකූලතාවන්ට මුහුණ දෙන්න වෙනවා. සුදුසුකම් ලබන වෙළෙන්දන් වැට් ලියාපදිංචි වෙන වෙලාවට විකුණන්න ඉතිරි වෙලා තියෙන බඩු තොග සඳහා යෙදවුම් බදු බැර ගන්න පුළුවන්. හැබැයි ලියාපදිංචි හැමෝම නියමිත දිනක ඉඳලා මාස තුනක් ඇතුළත එසැනින් ගනුදෙනු වාර්තා කරන, ඉන්වොයිස් දෙන සහ දත්ත ගන්න පුළුවන් ආරක්ෂිත විකුණුම් ස්ථාන පද්ධති පාවිච්චි කරන්න ඕන.

ව්‍යාපෘති සඳහා ගේන පිරියත, යන්ත්‍ර සූත්‍ර, උපකරණ හෝ වාහනවල බදු ගෙවීම ප්‍රමාද කරලා තියෙනවා නම් සහ ව්‍යාපෘතිය ඉවර වෙලා මාසයක් ඇතුළත ඒ බදු පියවලා නැත්නම්, ඒවට යෙදවුම් වැට් බදු බැර ලැබෙන්නේ නැහැ.

වරාය නගර රාමුව යටතේ “ක්‍රමෝපාය වැදගත්කමක් තියෙන ව්‍යාපාර” (BSIs) විදිහට නම් කරපු ආයතනවලට කරන සැපයුම් සඳහා වැට් බදු නිදහස් කිරීම් ලබා දෙනවා. ඒ අනුව විශාල බදු නිදහස් කිරිම් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට ලැබෙනවා. සාමාන්‍ය ජනතාව මත තිබුණු අධික බදු බර එලෙසමයි.

බදු අනුකූලතාවය සහ නීතිය ක්‍රියාත්මක කරන විධිවිධාන සැලකිය යුතු විදිහට ශක්තිමත් කරලා තියෙනවා. වැරදි සඳහා තියෙන උපරිම දඩය රුපියල් 25,000 ඉඳලා රුපියල් මිලියන 1 දක්වා වැඩි කරලා තියෙනවා. වංචනික විදිහට බදු ආපසු ඉල්ලීම සහ වලංගු ලේඛන දෙන්න බැරි වීම වගේ වැරදිවලට මාස හයක් දක්වා හිරේ යන්නත් වෙන්න පුළුවන්. බදු පරිපාලනයට උදව් වෙන්න බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ විස්තර ප්‍රසිද්ධ කරන්නත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය දීලා තියෙනවා.

බදු ගෙවන්නන්ට වැට් බදු කාල සීමාව අවසානයේ විතරක් නෙවෙයි, ඒ කාල සීමාව ඇතුළෙත් දිගටම වැට් බදු උපලේඛන ඉදිරිපත් කරන්න ඉඩ දීලා තියෙනවා. මේකෙන් පේන්නේ දිගටම වාර්තා කිරීමේ ක්‍රමයකට යන බවයි.

මේ පනත් කෙටුම්පතෙන් පේන්නේ වඩාත් පළුල් සහ බලාත්මක කිරීම මුල් කරගත්ත වැට් බදු ක්‍රමයකට යන බවයි. මෙයින් මූල්‍ය සේවාවල බදු බර වැඩි වීමේ ඉඳලා කුඩා ව්‍යාපාර, ඩිජිටල් සේවා සහ සිල්ලර ව්‍යාපාරවල බදු වගකීම් වැඩි වීම දක්වා බලපෑම් ඇති වෙනවා.

2025 අවුරුද්දේ රුපියල් බිලියන 2,202ක ඉලක්කය ඉක්මවා ගිහින් රුපියල් බිලියන 2,244ක වාර්තාගත ආදායමක් ගත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, 2026 අවුරුද්දට රුපියල් බිලියන 2,402ක ඉලක්කයක් දීලා තියෙනවා.

බදු අනුකූලතාවය ශක්තිමත් කරන්න බලධාරීන් දැන් රේගුව එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒකාබද්ධ විගණන කරන්න සහ දත්ත හුවමාරු කරගන්න රේගුවත් එක්ක අවබෝධතා ගිවිසුමකට ඇවිත් තියෙනවා. මේ හරහා ආදායම් එකතු කිරීම වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා.

බදු පදනම තවත් පුළුල් කරන්නත් පියවර ගනිමින් ඉන්නවා. මේ වෙනකොටත් පුද්ගලයන් මිලියන 12කට බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) දීලා තියෙනවා. බදු පරිපාලනය දියුණු කරන්න මේක මිලියන 17ක් දක්වා වැඩි කරන්නත් සැලසුම් කරලා තියෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading