වෙනිසුවේලාවේ හැත්තෑදාහක් අතුරුදන් කළ මහා භූමිකම්පාව!

සාමාන්‍ය දිනයක් ලෙස ආරම්භ වූ ජුනි 24 වැනිදා සවස වෙනිසියුලාවේ ඉරණම තත්පර කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ගියේය. කැරිබියානු වෙරළ තීරය ආසන්නයේ පිහිටි මොරොන් (Morón) ප්‍රදේශයට බටහිරින් කිලෝමීටර් 13ක් පමණ ගැඹුරින් ආරම්භ වූ භූමි කම්පනය, මුළු මහත් වෙනිසියුලාවම මරණයේ සහ විනාශයේ සෙවණැලිවලින් වසා දැමීය.

එකක් පසුපස එකක් ලෙස තත්පර 39ක පරතරයකින් ඇති වූ රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පා ද්විත්වය, 1900 වසරෙන් පසු එම කලාපය දුටු දරුණුතම ස්වභාවික ව්‍යසනය බවට පත්ව තිබේ. මේ වන විටත් ජීවිත 1600 අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර, 70,000 කට ආසන්න පිරිසක් අතුරුදන් වී සිටිති.

ලා ගුවයිරා (La Guaira) සහ අගනුවර වන කරකාස් (Caracas) ඇතුළු ප්‍රදේශ රැසක අහස උසට නැගුණු ගොඩනැගිලි තත්පර කිහිපයක් ඇතුළත කොන්ක්‍රීට් සහ යකඩ ගොඩවල් බවට පත් විය. පුද්ගලයින් 3,200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 3,100කට වැඩි පිරිසකට සිය නිවාස අහිමි වී මහමඟට වැටීමට සිදුව තිබේ. විශේෂයෙන්ම ලා ගුවයිරා ප්‍රදේශයේ පමණක් ගොඩනැගිලි 250කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

සුන්බුන් අතර සිරවී සිටින තම ආදරණීයයන් බේරාගැනීම සඳහා සාමාන්‍ය ජනතාව හිස් දෑතින් සහ සවල් භාවිතයෙන් කොන්ක්‍රීට් කුට්ටි ඉවත් කරන අයුරු හද කම්පා කරවන දසුනක් විය.

“අපිට ජාත්‍යන්තර උදව් අවශ්‍යයි. කොහෙන් හෝ කාගෙන් හෝ උදව්වක් අවශ්‍යම මොහොතක් මේක. අපි මෙවැනි දෙයකට කොහෙත්ම සූදානම් වෙලා හිටියේ නැහැ.”

සිය මව සහ සහෝදරිය සිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටීමෙන් පසු හඬා වැටෙමින් සිටි 67 හැවිරිදි ලිජියා ලෙවෙල් (Ligia Level) එලෙස පැවසුවාය. භූමිකම්පාව සිදුවන අවස්ථාවේ පළමු මහලේ කවුළුවකින් පිටතට පැන දිවි බේරාගැනීමට ඇය සමත් වූවාය.

හිටපු පොලිස් නිලධාරියෙකු වන ජාන් කාලෝස් රෝවා ගාර්සියාගේ අත්දැකීමද ඊට දෙවැනි නොවේ. තම නිවසට යාමට නොහැකිව මහමඟ නිදාගැනීමට සිදුවී ඇති ඔහු සිය වේදනාව ප්‍රකාශ කළේ කඳුළු සලමිනි. “මට දැන් වයස අවුරුදු තිහක් වුණා නම් කමක් නෑ. ඒත් දැන් වයස පනහයි. ජීවිතය ආයෙත් පටන් ගන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මේ දක්වා කිසිම බලධාරියෙක් අපිව හොයාගෙන ආවේ නැහැ.”

මෙම ස්වභාවික ව්‍යසනය වෙනිසියුලාවට කඩා වැදුණේ ඔවුන් ඒ වන විටත් දරුණු ආර්ථික සහ මානුෂීය අර්බුදයක සිරවී සිටි පසුබිමකය. ඔක්ස්ෆෑම් (Oxfam) සංවිධානයට අනුව, භූමිකම්පාවට පෙර සිටම වෙනිසියුලාවේ මිලියන 7.9ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ මෙම ව්‍යසනය හේතුවෙන් සිදුව ඇති ආර්ථික පාඩුව ඩොලර් බිලියන 6.7ක් පමණ වන බවයි. එය වෙනිසියුලාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක පමණ දැවැන්ත ප්‍රතිශතයකි.

අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සිදුව ඇති විනාශය හමුවේ රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සෞඛ්‍ය අංශ දශක ගණනාවක සිට ඇමෙරිකානු බලපෑම් සහ ඒවාට එරෙහිව වෙනිසුවේලාවේ ප්‍රතිපත්ති මෙන්ම අභ්‍යන්තර දූෂණය හේතුවෙන් ඇති වූ මූල්‍ය අර්බුද හේතුවෙන් දුර්වල වී තිබූ අතර, මේ වන විට රෝහල්වලට දරාගත නොහැකි තරම් රෝගීන් ප්‍රමාණයක් ගලා එමින් පවතී. ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් රැසක් විනාශ වී ඇති බැවින් සහන සේවා සැපයීම අතිශයින් දුෂ්කර වී ඇත.

මෙම අකාර්යක්ෂමතාවය ජනතාවගේ දැඩි කෝපයට හේතු වී තිබේ. ඛේදවාචකයට ලක්වූ චකාවෝ (Chacao) ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අන්තර්වාර ජනාධිපතිනියට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

“රජයෙන් අපිට ලැබිය යුතු සහාය ලැබෙන්නේ නැහැ. ඇත්තටම වෙනිසියුලානු ජනතාව වන අපිමයි එකිනෙකාට උදව් කරගන්නේ. රජය කියලා දෙයක් දැන් අපිට නැහැ.”

ප්‍රදේශයේ පදිංචි සංගීතඥයෙකු වන සයිරා කැස්ත්‍රෝ එසේ පැවසුවාය.

මෙතරම් දැවැන්ත විනාශයක් තත්පර කිහිපයක් ඇතුළත සිදුවූයේ කෙසේද යන්න විද්‍යාත්මකව විමසා බැලීම වැදගත්ය. උතුරු වෙනිසියුලාව පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකානු භූමි තැටිය සහ කැරිබියානු භූමි තැටිය එකිනෙක ගැටෙන මායිමකය. මෙම තැටි දෙක වසරකට මිලිමීටර් 20ක පමණ වේගයකින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට තිරස් අතට ගමන් කරයි (Strike-slip fault).

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය භූමිකම්පාවක් සහ පසුකම්පන මාලාවක් නොවීමයි. විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ ‘භූමිකම්පා ද්විත්වයක්’ (Earthquake doublet) ලෙසිනි.

“මෙය ඉතා කලාතුරකින් සිදුවන තත්ත්වයක්. පළමු භූමිකම්පාවෙන් (7.2) නිදහස් වූ පීඩනය සහ ශක්තිය නිසා යාබදව පිහිටි අස්ථරයක තවත් දැවැන්ත පිපිරීමක් (7.5) තත්පර 39ක් වැනි සුළු කාලයක් ඇතුළත නිර්මාණය වුණා. ගොඩනැගිලිවලට පළමු කම්පනයෙන් වූ හානියට වඩා විශාල හානියක්, ඒවා යථා තත්ත්වයට පත්වීමටත් පෙර පැමිණි දෙවන දැවැන්ත කම්පනයෙන් සිදු වුණා.”

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ භූමිකම්පා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනස්ටාසියෝස් සෙක්ස්ටොස් (Prof. Anastasios Sextos) මෙම තත්ත්වය එලෙස පැහැදිලි කළේය.

මීට අමතරව, වෙරළබඩ සහ ගංගා නිම්න ආශ්‍රිත ලිහිල් පස හේතුවෙන් ද්‍රවීකරණය (Liquefaction) සිදුවීමත්, කඳුකර ප්‍රදේශවල නායයාම් සිදුවීමත් විනාශයේ තරම තවත් තීව්‍ර කර තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා පවතින “ස්වර්ණමය පැය 72” (Golden 72 hours) මේ වන විටත් ගෙවී ගොස් අවසන්ය. එහෙත් මෙක්සිකෝව, බ්‍රසීලය, එක්සත් ජනපදය, එල් සැල්වදෝරය, ප්‍රංශය සහ තුර්කිය ඇතුළු රටවල් රැසක සහන සේවකයෝ දිවා රෑ නොබලා ජීවිත බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති. එක්සත් ජනපදය ඩොලර් මිලියන 150ක ආධාර මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇත.

බරපතලම ගැටලුව වන්නේ සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය බර යන්ත්‍රෝපකරණ හිඟකමත්, ඖෂධ සහ වෛද්‍ය පහසුකම්වල පවතින දැඩි හිඟකමත්ය. දශක ගණනාවක් පුරා නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන ලද ගොඩනැගිලි මෙහිදී සමතලා වී ගොස් ඇත්තේ ‘පෑන්කේක්’ ආකාරයට එක මත එක මහල් කඩා වැටීමෙනි. මෙය අනාගත ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියේදී වෙනිසියුලාව අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයකි.

අඳුරු රාත්‍රියක් ගෙවී තවත් උදෑසනක් උදා වන විට, වෙනිසියුලානු ජනතාවට ඉතිරිව ඇත්තේ කඩා වැටුණු ගොඩනැගිලි සහ බිඳ වැටුණු බලාපොරොත්තු පමණි. රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක වූ තැන, මනුෂ්‍යත්වය පෙරදැරිව එකිනෙකාට පිහිට වෙමින් ඔවුන් පෙන්වන අසාමාන්‍ය ධෛර්යය, මෙම මහා ඛේදවාචකය මැදින් පෙනෙන එකම රිදී රේඛාවයි.

Author