මෙම ලිපියේ හෙඩිම තැන්නේ ඤාණානන්ද හාමුදුරුවන්ගේ කවියකි.
දශක පහකට අධික කාලයකට පසු මිනිසා යළිත් සඳ වෙත රැගෙන යාමේ ඓතිහාසික “ආටෙමිස් – 2” (Artemis II) මෙහෙයුම සාර්ථකව ආරම්භ කරමින්, ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා ගමන් ආරම්භ කර තිබේ.
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ (02) ඉතා සාර්ථක ලෙස ගුවන්ගත කෙරුණු මෙම යානය, පෘථිවි කක්ෂය වටා පැය 23කට අධික කාලයක් ගමන් කරමින් එහි පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස සිය දීර්ඝ චාරිකාව ආරම්භ කළේය.
නාසා ආයතනයේ පුරෝකථනයන්ට අනුව ඔරායන් යානය තවත් දින හතරකින් සඳට ආසන්න වීමට නියමිතය. ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ දින ගුවන්ගත කෙරුණු මෙම මෙහෙයුම සුවිශේෂී වන්නේ, 1972 වසරේදී ඇපලෝ වැඩසටහන නිමාවීමෙන් පසු නාසා ආයතනය සඳ වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බැවිනි.
දශක පහකට පසු මානව ගවේෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිදුකෙරෙන මෙම මෙහෙයුම, අනාගතයේදී මිනිසා සඳ මත ස්ථිර ලෙස පදිංචි වීමේ අරමුණෙහි තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
මෙම මෙහෙයුම සෘජුවම සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර, සඳ වටා ගමන් කර යළි ආරක්ෂිතව පෘථිවියට පැමිණීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙමගින් ලැබෙන දත්ත සහ අත්දැකීම්, ඉදිරියේදී මිනිසුන් සඳ මත ගොඩබැස්වීමට නියමිත “ආටෙමිස් – 3” මෙහෙයුම සඳහා පදනම සකසනු ඇත.
නාසා ආයතනය පවසන්නේ මෙය හුදෙක් ගවේෂණයක් පමණක් නොව, අනාගතයේදී අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා මිනිසා තබන දැවැන්ත පියවරක් වන බවයි. ආටෙමිස් මෙහෙයුම් මාලාව හරහා නාසා ආයතනය ගගනගාමීන් සඳ වෙත යවනු ලබන්නේ විද්‍යාත්මක සොයාගැනීම්, ආර්ථික ප්‍රතිලාභ සහ අනාගතයේදී අඟහරු වෙත යන පළමු මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා පදනම සකස් කිරීම උදෙසා වන අතර, මෙය සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා සිදුකෙරෙන්නක් බව නාසා ආයතනය පවසයි.
සුවිශේෂී ආටෙමිස් II මෙහෙයුම් සැකැස්ම, මීට පෙර සිදුකළ මිනිසුන් රහිත ආටෙමිස් I පරීක්ෂණ පියාසැරිය මත පදනම්ව ගොඩනැඟෙන අතර, ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන SLS (Space Launch System) රොකට් පද්ධතියේ සහ ඔරායන් යානයේ පුළුල් පරාසයක හැකියාවන් මෙහිදී ප්‍රදර්ශනය කරනු ඇත.
නාසා ආයතනය පවසන ආකාරයට ආටෙමිස් II කාර්ය මණ්ඩලය සඳෙහි ඈත පැත්තෙන් ඔබ්බට සැතපුම් 4,700 ක් පමණ දුරක් ගමන් කරනු ඇත. මෙම සුවිශේෂී ස්ථානයේ සිට ඔවුන්ට ඔරායන් යානයේ කවුළු තුළින් පෘථිවිය සහ සඳ දැකගත හැකි වනු ඇත. එහිදී සඳ ඉතා සමීපව පෙරබිමෙහි ද, පෘථිවිය සැතපුම් මිලියන කාලකට (250,000) වඩා වැඩි දුරකින් පසුබිමෙහි ද දිස්වනු ඇත.
ආපසු පැමිණීමේ ගමනට දින හතරක් පමණ ගතවන බැවින්, සමස්ත මෙහෙයුම දින 10 ක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආපසු පැමිණීම සඳහා යානයේ එන්ජින් බලය භාවිත කරනවා වෙනුවට, මෙම ඉන්ධන-කාර්යක්ෂම ගමන් පථය මගින් පෘථිවි-සඳ ගුරුත්වාකර්ෂණ බලය ප්‍රයෝජනයට ගනු ලබයි. එමගින් සඳෙහි ඈත පැත්ත වටා ගමන් කිරීමෙන් පසු, මෙහෙයුමේ “නිදහස් ආපසු පැමිණීමේ” කොටස සඳහා ඔරායන් යානය පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් ස්වභාවිකවම නැවත ඇද ගනු ලැබීම තහවුරු කෙරේ.
අපි සඳේ අපලෙට බෝ ගස් වටේ යනවා… උන් ගවේෂණයට සඳ වටේ යනවා…
විශ්වාසය සහ විද්‍යාව අතර ඇති පරස්පරතාව තැන්නේ හාමුදුරුවන්ගේ කවිය තුළ පිළිබිඹු වන අතර, ලාංකීය සංස්කෘතිය තුළ සඳ යනු ජ්‍යොතිෂයට අනුව මිනිස් ජීවිත පාලනය කරන, අපල උපද්‍රව පමුණුවන ග්‍රහයෙකු ලෙස සලකා ආධ්‍යාත්මික සහනය උදෙසා බෝ ගස් වටා වතාවත්වල නිරත වන වස්තුවකි.
එහෙත් නාසා ආයතනයේ ආටෙමිස් මෙහෙයුම මගින් සඳ යනු ජයගත හැකි භෞතික වස්තුවක් ලෙස සලකා එහි රහස් ගවේෂණය කරමින් මිනිස් වාසයට සුදුසු දැයි පරීක්ෂා කිරීමට වෙහෙසෙයි. අප සමාජය ප්‍රශ්න හමුවේ ප්‍රාර්ථනා සහ සම්ප්‍රදායික වතාවත් අභිචාර මත යැපෙමින් “සඳේ අපලය” අවසන් වන තෙක් එකම තැන රවුම් ගසන ජාතියක් බවට පත්ව සිටී.

ඇමරිකන්කාරයො හඳට රොකට් අරිනවා කීමෙන් අදහස් වෙන්නෙ නෑ ඇමරිකාවෙ මිනිස්සු ඔක්කොම නවීන විද්‍යා දැනුමෙන් හා විද්‍යාත්මක චින්තනයෙන් සන්නද්ධව ඉන්න බවක්. ඔක්කොම ඇමරිකන්කාරයන්ට ඉංග්‍රීසි පුළුවන් වුණාට උන් ඔක්කොම නවීන විද්‍යා පතපොත කියවන්නෙ නෑ. ජනගහනයෙන් බාගයක් විතර ඇමරිකන්කාරයො පරිණාමවාදය බොරුවක් බවත් බයිබලයේ තියන දෙවියන්වහන්සේ ලෝකය මවපු කතාව පරම සත්‍යයක් බව පිළිගන්නා අයයි. පරිණාමවාදය පාසල්වල ඉගැන්වීමට විරුද්ධව බොහෝ නඩු ගණනක් දමා ඇත්තේ ඇමරිකන්කාරයනුයි