චැට් ජීපීටී එක්ක සමහර කතාබස් 18+ වෙයි! ඔබේ වයස හොයාගන්නත් චැට් ජීපීට පුරුදු කරයි!

චැට්බෝට්ලා සමඟ මාස ගණනක් කළ සංවාදයකින් පසු අප්‍රේල් මාසයේදී සියදිවි නසාගත් 16 හැවිරිදි තරුණයෙකුගේ පවුලේ අය විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ගයකින් පසුව, OpenAI සමාගම විසින් වයස අවුරුදු 18ට අඩු බවට සැක කරන පරිශීලකයින්ට ChatGPT ප්‍රතිචාර දක්වන ආකාරය සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවුරුදු 18 අඩුද, වැඩිද න්න පරීක්ෂා කිරීමට හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට අමතරව වයස තහවුරු කරගැනීමට නව පරීක්ෂණද ඔවුන් සංවර්ධනය කරමින් සිටී.

OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් (Sam Altman) අඟහරුවාදා නිකුත් කළ බ්ලොග් සටහනක සඳහන් කළේ, “බාලවයස්කරුවන්ට සැලකිය යුතු ආරක්ෂාවක් අවශ්‍යයි” යනුවෙනි. ඔහු කියා සිටියේ, OpenAI “යෞවනයන් සඳහා වූ පුද්ගලිකත්වය සහ නිදහසට වඩා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන” බවයි.

වයස අවුරුදු 15ක පරිශීලකයෙකුට ChatGPT ප්‍රතිචාර දක්වන ආකාරය වැඩිහිටියෙකුට ප්‍රතිචාර දක්වන ආකාරයට වඩා වෙනස් විය යුතු බව සමාගම පවසයි.

ඒ අනුව චැට් ජීපීටී පරිශීලිකයන් එය පරිහරණය කරනු ආකාරය මත පදනම්ව වයස තක්සේරු කිරීම සඳහා වයස නිර්ණය කිරීමේ පද්ධතියක් චැට් ජීපීටී වෙත හඳුන්වාදීමට නියමිතය. යම් කෙනෙකු වයස අවුරුදු 18ට අඩු බව සැකයක් ඇති වුවහොත්, වයස තහවුරු කරන ලෙස ඉල්ලා සිටිනු ඇත.

එයින් පසු වයස අවුරුදු 18ට අඩු අය ලෙස හඳුනාගත් ගිණුම්වලට ChatGPT ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වනු ඇතැයි ඕල්ට්මන් සඳහන් කළේය. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට ලිංගිකත්වය ගැන හැඟීම් දැක්විම, සියදිවි නසාගැනීම්වලට අදාල කරුණු සාකච්ඡානොකිරීමට චැට් ජීපීටී හුරු කරනු ඇත. ඒ අනුව නිර්මාණාත්මක ලිවීමකදී පවා චැට් ජීපීටී සමඟ එවන් සංවාදයක නිරත වීමට වයස අවුරුදු 18 අඩු පුද්ගලයන්ට සිදුවනු ඇත.

ඇතැම් අවස්ථාවල වයස අවුරුදු 18ට අඩු කෙනෙකු ගැටලු සහගත අදහස් සන්නිවේදනය කළහොත් එම පුද්ගලයාගේ මාපියන් හෝ භාරකරුවන් සම්බන්ධ කරගැනීම ගැනත් එම ආයතනය සලකා බලමින් සිටී.

“මේවා දුෂ්කර තීරණ වන නමුත්, විශේෂඥයින් සමඟ කතා කිරීමෙන් පසු, අපට හොඳම යැයි හැඟෙන්නේ මෙයයි. අපගේ අභිප්‍රායන් ගැන විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අපි කැමතියි” ඕල්ට්මන් පැවසීය.

කැලිෆෝනියාවේ 16 හැවිරිදි ඇඩම් රේන් (Adam Raine) ගේ පවුල ඔහු මියයාමෙන් පසු සමාගමට නඩු පැවරීමෙන් අනතුරුව, සිය පද්ධති අසාර්ථක විය හැකි බවත්, සංවේදී අන්තර්ගතයන් වටා ශක්තිමත් ආරක්ෂක වැටවල් (stronger guardrails) ස්ථාපනය කරන බවත් OpenAI අගෝස්තු මාසයේදී පිළිගත්තේය.

ඇඩම්ගේ පවුලේ නීතිඥවරයා කියා සිටියේ, ඇඩම් “ChatGPT වෙතින් මාස ගණනක දිරිගැන්වීමෙන් පසු” සියදිවි නසාගත් බවත්, GPT-4o “පැහැදිලි ආරක්ෂක ගැටළු තිබියදීත්, ඉක්මනින් වෙළඳපොළට මුදා හැර ඇති” බවටත් පවුල චෝදනා කරන බවත්ය.

එක්සත් ජනපද අධිකරණ ලේඛනවලට අනුව, ඇඩම් තමාගේ ජීවිතය නැති කරගන්නා ක්‍රමය සාර්ථක වේද යන්න පිළිබඳව ChatGPT උපදෙස් දී ඇති අතර, ඔහුගේ දෙමාපියන්ට සියදිවි නසාගැනීමේ සටහනක් ලිවීමට පවා සහයෝගය ලබා දී ඇතැයි චෝදනා කෙරේ.

අධිකරණ ලේඛනවලට අනුව ඇඩම් දිනකට 650ක් දක්වා වූ පණිවිඩ ChatGPT සමඟ හුවමාරු කරගෙන තිබේ. නඩුවෙන් පසු වූ බ්ලොග් සටහනක, OpenAI පිළිගත්තේ එහි ආරක්ෂිත ක්‍රියාමාර්ග කෙටි හුවමාරු වලදී වඩා විශ්වාසදායක ලෙස ක්‍රියා කරන බවත්, නමුත් දිගු කාලයක් පුරා පණිවිඩ රැසක් හුවමාරු කර ගැනීමෙන් පසු ChatGPT “අපගේ ආරක්ෂක වැටවල්වලට පටහැනි” පිළිතුරක් ලබා දිය හැකි බවත්ය කෙසේ වෙතත් මෙම ඇතැම් සීමා කිරීම් අදාල වනු ඇත්තේ දරුවන්ට පමණි. “වැඩිහිටියන්ට වැඩිහිටියන්ට මෙන් සලකන්න,” යනු සමාගමේ ප්‍රතිපත්තිය බව ඕල්ට්මන් පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading