ගිය අවුරුද්දේ ආර්ථිකයේ සීයට පහක වර්ධනයක්!

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්තවලට අනුව, 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5.0 ක ධන අගයක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 12,508,954 ක් ලෙස වාර්තා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2015 ස්ථාවර මිල ගණන් යටතේ, 2025 වර්ෂයේ දී රුපියල් මිලියන 13,128,577 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2025 වර්ෂයේ දී ආර්ථිකයේ ප්‍රධාන අංශ ත්‍රිත්වයම ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත:

කෘෂිකාර්මික අංශය: සියයට 1.4 ක වර්ධනයක්.

කර්මාන්ත අංශය: සියයට 7.8 ක සැලකිය යුතු වර්ධනයක්.

සේවා අංශය: සියයට 3.3 ක වර්ධනයක්.

පවත්නා මිල ගණන් යටතේ සලකා බැලීමේදී, 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 32,750,844 ක් දක්වා සියයට 8.8 කින් වැඩි වී ඇත. එහිදී කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල දායකත්වය පිළිවෙළින් සියයට 8.4 ක්, සියයට 25.4 ක් සහ සියයට 54.6 ක් ලෙස වාර්තා වේ. භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩු කළ) දායකත්වය සියයට 11.6 කි.

2025 වසරේ මෙම කාර්ය සාධනය සඳහා වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඒ හරහා ‘යහපත් ආර්ථිකයක්’ පිළිබඳ ඇති වූ මහජන අපේක්ෂාවන් ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. මූල්‍ය සේවා, රක්ෂණ සේවා සහ මෝටර් රථ අලුත්වැඩියාව ඇතුළු වෙළෙඳ කටයුතු ප්‍රසාරණය වීම මෙහිදී කැපී පෙනෙන වර්ධනයන් ලෙස ඔවුන් පෙන්වාදෙයි. මීට අමතරව, ස්ථාවර විනිමය අනුපාතයක් පැවතීම, පොලී අනුපාත අඛණ්ඩව අඩුවීම සහ ව්‍යවසායක හිතකාමී ලෙස උද්ධමනය ඉහළ යාම ආර්ථිකයට හිතකර ලෙස බලපා තිබේ.

පැළ බෝකිරීම (28.1%), වන වගා (10.7%) සහ සත්ව නිෂ්පාදන (10.5%) ඉහළ වර්ධනයක් පෙන්නුම් කළද, අයහපත් කාලගුණය හේතුවෙන් මිරිදිය ධීවර (45.3%), කෝපි හා කොකෝවා (10.1%) සහ එළවළු වගා කටයුතු (7.1%) පසුබෑමකට ලක් විය.

පතල් හා කැණීම් (16.9%) සහ ඉදිකිරීම් කර්මාන්තය (9.2%) වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය. පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනය ද සියයට 16.9 කින් වර්ධනය වී ඇත.

රක්ෂණ හා විශ්‍රාම අරමුදල් සේවා (14.6%) සහ තොරතුරු තාක්ෂණ සේවා (12.8%) ප්‍රමුඛ වර්ධනයක් පෙන්වීය. කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂක අංශය සියයට 1.3 ක පසුබෑමක් වාර්තා කර ඇත.

2025 වසරේ අවසන් කාර්තුවේදී (ඔක්තෝබර් – දෙසැම්බර්) ආර්ථික වර්ධන වේගය සියයට 4.8 ක් ලෙස වාර්තා විය. මෙය 2024 වසරේ අනුරූප කාර්තුවේ වාර්තා වූ සියයට 5.6 ක වර්ධනයට වඩා මදක් අඩු අගයකි. මෙම කාර්තුව තුළ කෘෂිකාර්මික කටයුතු සියයට 2.1 කින්ද, කර්මාන්ත සියයට 7.3 කින්ද සහ සේවා අංශය සියයට 3.1 කින්ද වර්ධනය වී තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading