විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර අගයමින් මහචාර්ය රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්‍ෂප්‍රමාණ ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය ජනගත කිරීම අද (03) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ප.ව. 3.00 ට පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එහි ප්‍රමුඛ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සමාජවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා විසින් සිදු කිරීමට නියමිත අතර, මීට සමගාමීව තවත් කෘති ගණනාවක් එළිදැක්වීමට නියමිත බවයි එම ප්‍රකාශන ආයතනය සඳහන් කරන්නේ.

සෝවියට් නූතනත්වය සහ ප්‍රති සිනමාව යනුවෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රචනා කළ සිනමාව පිළිබඳ වන ශාස්ත්‍රීය කෘතිය, ජපානයේ සෙන් සම්ප්‍රදායේ වබි – සබි සංකල්පය ආශ්‍රයෙන් නන්දන වීරසිංහ රචනා කරන ලද අනිත්‍යතා සෞන්දර්යය, ඉශංක මල්සිරි විසින් රචිත ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව ශාස්ත්‍රීය ග්‍රන්ථය, ලක්ශාන්ත අතුකෝරලගේ තීරුලිපි සංග්‍රහය වන සමවැහි රේඛාව, ජෝන් ස්ටෙයින්බෙක්ගේ The Moon Is Down නවකතාවේ ශ්‍රීලානි ප්‍රනාන්දු විසින් කරන ලද සිංහල පරිවර්තනය, රඛින්ද්‍රනාත් තාගෝර්ගේ The Wreck නවකතාවේ මානෙල් කරුණාතිලක විසින් කරන ලද සිංහල පරිවර්තනය මෙලෙස අද දිනයේ දී එළිදැක්වීමට නියමිතයි.
කෙසේ නමුත්, එම ප්‍රකාශන ආයතනය ගෙෘරවයෙන් ආරාධනා කරන්නේ මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙසයි.
