මෙට්රෝ බස් 6කට අලාභහානි – කඩාකප්පල්කාරීන් අල්ලන්න පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්!

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ධාවනය වන මෙට්රෝ බස් රථ ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව අපරාධ නීතිය සහ පොදු දේපළ පනත යටතේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර අද (9) පවසා තිබේ.

පොලිසිය සඳහන් කළ පරිදි පසුගිය දින කිහිපය තුළ මෙට්රෝ බස් රථවලට හානි සිදුකිරීම් සහ අනතුරු සිදුකිරීම් කිහිපයක්ම වාර්තා වී ඇත. ඒ අනුව, පසුගිය දිනෙක අතුරුගිරිය මිල්ලෙනියම් සිටි අසලදී පෞද්ගලික බස් රථයක් හිතාමතාම පසුපසට ගෙන මෙට්රෝ බස් රථයක ගැටීමට සලස්වා ඇති අතර, පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ රියදුරාට පොදු ප්‍රවාහන බලපත්‍රයක් නොමැති බවත්, එම රියදුරා විසින්ම ඊට පෙරදින ද රාජගිරිය ප්‍රදේශයේදී මෙට්රෝ බස් රථයක් අනතුරට ලක්කර ඇති බවත්ය.

තවද, ඊයේ (8) මාකුඹුර වාහන අංගනයේදී අලුයම 3.15ට පමණ බස් රථයේ කොන්දොස්තරවරයා විසින් බස් රථය පසුපසට ධාවනය කර මෙට්රෝ බස් රථයකට හානි සිදුකර ඇති අතර, ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති බවත් වාහන ධාවනය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොතිබූ බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසා තිබේ.

ඊට අමතරව, කැස්බෑව පිළියන්දල පොලිස් වසමේදී සහ බොරැල්ල ප්‍රදේශයේදී ද හිතාමතාම මෙට්රෝ බස් රථ අනතුරට ලක්කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර, කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙට්රෝ බස් රථ නවතා තැබීමට පෞද්ගලික බස් රියදුරන් ඉඩ නොදීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව (CMC) හා එක්ව මෙට්රෝ බස් රථ සඳහා වෙනම ස්ථානයක් වෙන්කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් සිදුවූ සිදුවීම්වලින් මෙට්රෝ බස් රථ 6 කට ආසන්න සංඛ්‍යාවකට අලාභහානි සිදුවී ඇති අතර, ඇතැම් පෞද්ගලික බස් රථ මගින් මෙට්රෝ බස් රථවල ගමනාගමනයට අවහිර කිරීම් ද සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ.

මීට අමතරව, මෙට්රෝ බස් රථ ධාවනය වන මාර්ග 7 ට අයත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ රථවාහන අංශයේ නිලධාරීන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එම බස් රථවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, බුද්ධි තොරතුරු ලබාගනිමින් පාරිභෝගික පොදු ප්‍රවාහන සේවයට බාධා පමුණුවන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය, මෝටර් වාහන පනත සහ පොදු දේපළ පනත යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය සූදානමින් සිටින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර අවධාරණය කර සිටී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading